Latestදේශීය

ඇමරිකාවේ උගුලට අහුවෙන එක වීරකමක් ද? – පුබුදු ජයගොඩ

(විශ්ව ප්‍රභාත් රශ්මික)

ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තියේදී ලංකාවේ ආණ්ඩුව ඇමරිකාව සමග ඇතිකරගත් එකඟතා පිළිබඳව තවමත් රටේ ජනතාවට හෙළිදරව් කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් රටේ ජනතාව අවදියෙන් සිටිය යුතු බවත් පවසමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පසුගිය දා (18) දින නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන ලදී.

එහිදී පුබුදු ජයගොඩ මහතා දැක්වූ අදහස් පහතින්

           ඒ තීරු බදු වැඩී කිරීම සඳහාවන සූත්‍රය හදලා තිබුණේ ඒ ඒ රටවල් සමග ගණුදෙනු කිරීමේදී ඇමරිකාවට තිබුණු වෙළඳ ශේෂය ගණං බලලා. දැන් ඒ සූත්‍රයට අනුව තමයි ලංකාවෙන් ඇමරිකාවට යවන ඇඟළුම් සහ රබර් භාණ්ඩ ඇතුළු නිෂ්පාදනවලට 44%ක තීරු බදු පැනවීමක් නිවේදනය කළේ. මේ නිවේදනය කරද්දිත් ඇමරිකාව දැනගෙන හිටියා මේ සියළු භාණ්ඩ ඇමරිකාව තුළ නිෂ්පාදනය කරන්න බැහැ කියලා. මොකද එහෙම කළොත් පිරිවැය වැඩි වීමෙන් භාණ්ඩවල මිල ඉහළ යනවා. ඒ නිසා ට්‍රම්ප් මේ තීරු බදු 44%යි කියලා පැනව්වෙම කොහොමත් 20%ක් විතර දක්වා අඩු කරන්න බලාගෙන. අපි දන්නවා කොටුවේ වෙළෙන්දොත් මේ විදිහට භාණ්ඩයක් ගන්න ගියාම මුලින් ලොකු මුදලක් කියලා කේවල් කිරීමේදී එයින් අඩකටත් වඩා අඩු කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි ට්‍රම්ප් ජනාධිපතිවරයත් කරන්න සූදානම් වුණේ. 

          නමුත් අපිට ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ආණ්ඩුව මේ අවස්ථාවේදී හැසිරුණු ආකාරය ගැන. මේ ගැන සාකාච්ඡා කරන්න ලංකාවෙන් නියෝජිත කණ්ඩායමක් ගියා. ඔවුන්ගේ සාකාච්ඡාවලින් පස්සේ 20% දක්වා බදු අඩු කරන්න ඇමරිකාව එකඟ වුණා කියලා තමයි දැනට නිවේදනය කරලා තියෙන්නේ. හැබැයි අපි දන්නවා ඇමරිකාව නව තීරුබදු ප්‍රතිපත්තියකට ගියේ හුදු ආර්ථික අභිලාෂයන් එක්ක විතරක් නෙවෙයි. මේ හා බැඳුණු භූ දේශපානලන අරමුණු ගණනාවක් ඇමරිකාවට තියනවා. ඒකට හොඳම උදහරණය තමයි බ්‍රසීලයට පැනවූ 50%ක තීරු බද්ද. බ්‍රසීලයේ හිටපු ජනාධිපති ඇමරිකන් ගැතියෙක් වන බොල්සොනාරෝට විරුද්ධව වත්මන් ආණ්ඩුවෙන් ගනු ලබන නෛතික ක්‍රියාමාර්ග නතර කරවන්න තමයි මෙවැනි ආර්ථික පීඩනයක් එල්ල කරලා තිබුණේ. අසල්වැසි ඉන්දියාවට පනවපු තීරු බදු අඩු කරන්න නම් රුසියාවෙන් තෙල් ගන්න එක නවත්තන්න කියලා දැනුම් දීලා තිබුණා. මේ විදිහට ඇමරිකාව රටවලට නව තීරුබදු පැනවීම කලේ බරපතළ දේශපානලන කොන්දේසි එක්ක. 

        ඒ නිසා ලංකාවට එවැනි කොන්දේසි කිසිවක් පැනෙව්වේ නෑ කියලා අපිට විස්වාස කරන්න පුලුවන් කමක් නෑ. අනිත් එක තමයි ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයේ පැහැදිලිව තියනවා රටවල් සමග ආරක්ෂක එකඟතාවලට පැමිණුනා කියලා. නමුත් අද වෙනකල් ලංකාවේ ආණ්ඩුව රටට හෙළිදරව් කරලා නෑ ඇමරිකාවත් සමග පැවති සාකාච්ඡාවලදී ඇතිකරගත් එකඟතා මොනවද කියලා. යම් කිසි විදිහකින් මිලිටරි එකඟතාවයකට ගියාද කියන එක රටේ ජනතාව දැනුවත් නෑ. අනිල් ජනයන්ත පාර්ලිමේන්තුවේදි කිව්වේ ඇමරිකාවෙන් කාර් සහ තෙල් ගෙන්නන්න එකඟ වුනා. ඒ අනුව තමයි තීරුබදු අඩු කලේ කියලා. ඊටපස්සෙ නැවත කිව්වා ඇමරිකාවෙන් තෙල් ගෙන්නන එක පාඩුයි ඒ නිසා තෙල් ගෙන්නන්නේ නෑ කියලා. 
     ඇමරිකාව ලංකාවට ටෙස්ලා කාර් දෙකතුනක් විකුණගන්න නම් තීරු බදු අඩු කිරීමකට ගියා කියලා හිතන්න අමාරුයි. නිශ්චිතවම මොවුන් අතර දේශපානලන එකඟතා ඇති වෙලා තියෙන්න ඕන. ඒ ඇතිකරගත් එකඟතා මොනවද කියලා ආණ්ඩුව වහාම රටට හෙළිදරව් කරන්න ඕන. ඇක්සා , සෝෆා වැනි මිළිටරි ගිවිසුම් ගැන ඇමරිකාව පහුගිය කාලෙම හිටියේ ලොකු කතාවක. එහෙම ගිවිසුමක් හරි එහෙම මැත්තං MCC ගිවිසම වැනි භයානක ආර්ත්ථික ගිවිසුම්ක කොන්දේසි නැවත වටයකින් ඉටු කරන්න ආණ්ඩුව එකඟ වුණාද කියන ප්‍රශ්නය අපිට තියනවා. 

        අපි දන්නවා මේ වෙද්දි ඉන්දියන් සාගරය තියෙන්නේ භූ දේශපානලන උණුසමක. ඉන්දියාව, චීනය සහ ඇමරිකාව දැවැන්ත වෙළඳ යුද්ධයක පැටලිලා ඉන්නවා මේ කලාපයේ ආර්ථික බලය ශ භූ දේශපානලන බලය අත්පත් කරගන්න. ඉතින් එවැනි මොහොතක අපි ගිහිල්ලා එක රටක දේශපානලන උවමනාවන් වෙනුවෙන් පාවිච්චි වීම කියන්නෙම රටත් ජනතාවත් බරපතළ අනතුරක හෙලීමක්. ඒ නිසා රට එවැනි අනතුරක නොහෙළා ඇමරිකාව එක්ක ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් වහාම පැහැදිලි කිරීමක් කරන්න කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවට මතක් කරනවා."
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *