ඩයනා දුටු තැන අල්ලන්න
නඩු විභාගය සඳහා දින නියම කර තිබියදීත් අධිකරණය හමුවේ පෙනීනොසිටි හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (21දා) නියෝග කළාය.
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාව යටතේ එම නඩුව පවරා තිබිණි.
එම නඩුවේ සාක්‍ෂි විභාගය පසුගිය ජූලි 31 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබූ නමුත් එදින එම සැකකාරිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා වෙනත් විශේෂ නඩුවක් වෙනුවෙන් පෙනී සිටින බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ඊයේ නඩුවේ සාක්‍ෂි විභාගය පැවැත්වීමට දින නියම කර තිබිණි.
එම නඩුවේ සාක්‍ෂි විභාගය අවස්ථා තුනකදී කල් තබා ඇති බැවින් කෙටි දිනයක් නියම කරන්නැයි පැමිණිල්ල මෙහෙය වූ රජයේ අධිනීතිඥවරිය කළ ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් ඊයේ නඩුවේ සාක්‍ෂි විභාගය පැවැත්වීමට පසුගිය ජූලි 31 වැනිදා දින නියම කර තිබිණි.
@දිවයින