Latestදේශීය

වැරදි කරපු ජනාධිපතිවරුන් වෙනුවෙන් කළුකොඩි දාන අයට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරනවා – ටිල්වින් සිල්වා

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසන්නේ, අධිකරණයක් විසින් ගනු ලබන තීරණයකට එරෙහිව පෙළපාලි යෑම හෝ කළු කොඩි දැමීම අධිකරණයට අපහාස කිරීමක් වන බවයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මේ බව කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මහජන මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයකින් පසුව බවයි. මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙපාර්ශවයේම කරුණු සලකා බැලීමෙන් පසු අධිකරණය විසින් ඒ මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කළ බව ඔහු කීවේය.

ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේ, එය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රශ්නයක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් කිසිවකුත් කලබල විය යුතු නැති බවත් ය. නීතියේ ස්වභාවය එය බවත්, ඕනෑම වැරදිකරුවෙකු සම්බන්ධයෙන් උසාවිය කරුණු සලකා බලා අවශ්‍ය නම් ඇප ලබා දෙන හෝ බන්ධනාගාර ගත කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

අධිකරණ තීන්දුවකට එරෙහිව පෙළපාළි යෑම සහ කළු කොඩි දැමීම රටේ අධිකරණයට අපහාස කිරීමක් බැවින්, එම අධිකරණයට අපහාස කිරීමේ කටයුත්ත සඳහා ද නීති අංශ ක්‍රියා කරනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

නීතිය කොස් ගෙඩියක් හෝ පොල් ගෙඩියක් හොරකම් කළ පුද්ගලයාට පමණක් නොව; ජනාධිපතිවරුන්ට, පොලිස්පතිවරුන්ට පවා ක්‍රියාත්මක විය යුතු බවට ජනතාව පැහැදිලි මතයක සිටින බව ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ජනාධිපතිවරුන් වරදක් කළ විට නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කළහොත්, ඉන්පසුව පාලනයේ ඉහළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කිසි දිනෙක නොහැකි වන බවත්, එවැනි තත්ත්වයක් තුළ පාලනයේ ඉහළ සිටින අය නීති කඩ කිරීමට බිය නොවන බවත් අවධාරණය කරමින් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙයි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *