Latestදේශීයනවතම ලිපිමතවාද

බටලන්ද ඝාතන, විජේදාස ලියනාරච්චි සහ රනිල් වික්‍රමසිංහ

(විදර්ශන කන්නන්ගර)

රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුළත් විය. ඉන් පසුව ඊයේ කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා මාරු කරන ලද ඔහු එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ සිට දැඩි සත්කාර ඒකකයට ඇතුළත්ව දැන් යහන් ගතව සිටියි.

එහෙත් මීට හරියටම අවුරුදු 37 කට පෙර තව දවස් කිහිපයකින් එළඹෙන සැප්තැම්බර් 2 දාවක අද රනිල් වික්‍රමසිංහ රැදී සිටින කොළඹ ජාතික රෝහලටම ලේ මස් වැගිරෙන, හුස්ම පමණක් යන්තමින් වැටෙනා මිනිස් මස් ගුලියක් හදිසියේම ඇතුළත් කරනු ලැබීය. දෙහෝරාවකට පසු එකී මස් ගුලියට මරණයේ සුවය පමණක් හිමිවිය.

ඒ කතාව කෙටියෙන් මෙසේය.

1988 වැනි කාලයක දකුණු පලාතේ හේබියාස් කෝපුස් නඩු කටයුතු වල යෙදී සිටි විජේදාස ලියනාරච්චි නම් වූ කීර්තිමත් මානව හිමිකම් නීතිඥවරයකු විය. ඔහු එවක එජාප ආණ්ඩුව විසින් සිදුකළ තරුණයන් පැහැර ගැනීම, වද හිංසාවට ලක් කිරීම හා මරාදැමීමට එරෙහිව නෛතික මානව හිමිකම් අරගලයක සක්‍රීය ලෙස නිරත වී සිටියේය.

1988 අගෝස්තු 25 වන අද වැනි දිනෙක කොළඹ දී පොලීසිය විසින් ඔහුව පැහැර ගෙන තංගල්ලට ගෙන එනු ලැබීය. අපරාධ නඩු විභාගයන්හි ප්‍රකට නීතිඥයකු හා ලියනාරච්චිගේ නීතිඥ ප්‍රධානියා වූ රංජිත් අබේසූරිය එවක පොලිස්පතිවරයා වූ අර්නස්ට් පෙරේරා අමතා සිය කනිෂ්ඨ නීතිඥයාගේ පැහැරගැනීම ගැන විමසා සිටියේය. එවැන්නක් නොදන්නා බව කියා සිටි පොලිස්පතිවරයා එවක දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළගෙන් ඒ පිළිබදව විමසූ විට එවැන්නක් සිදුවී නොමැතිය යන්න උඩුගම්පොළගේ පිළිතුර විය. එම පිළිතුර සැක සහිත වූ නිසා පොලිස්පතිවරයා තංගල්ල පොලිස් කොට්ඨාසය භාර කරවිටගේ ධර්මදාස නම් වූ පොලිස් අධිකාරිවරයා ඇමතූ අතර පැහැර ගත් තරුණ නීතිඥවරයා සිය භාරයේ සිටින බව අවසානයේදී පිළිගැනීමට සිදුවිය. ඒ වනවිටත් තංගල්ල පොලීසිය තුළ ලියනාරච්චිව වධ බන්දනයට ලක් කර තිබුණි.

එම ආරංචිය ලද එවක ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් සේපාල ආටිගල වහාම උඩුගම්පොලට දැනුම් දුන්නේ ලියනාරච්චි ගේ අත් අඩංගුව නීතිමය පටිපාටියට සිදුකරන ලෙසයි. එහෙත් නීතිඥ අබේසූරිය සිය කනිෂ්ඨ නීතිඥයාගේ ආරක්ෂාව පිළිබද වදවෙමින් සේපාල ආටිගලගෙන් ඉල්ලා සිටියේ ලියනාරච්චිව කොළඹට මාරු කරනා ලෙසයි. ඊට ඇහුම්කන් දුන් ආටිගල සැප්.1 දා ලියනාරච්චිව කොළඹට රැගෙන ඒමට කටයුතු සූදානම් කරන්නට විය.

එහෙත් එවක එජාපයේ මුල් පෙළේ ඇමතිවරයකු වූ හා බටලන්ද වධකාගාරයේ ගෝඩ්ෆාදර් වූ රනිල් වික්‍රමසිංහ වහාම පොලිස්පති අර්නස්ට් පෙරේරා අමතා දැනුම් දුන්නේ ‘කැලණියේ කඩාකප්පල්කාරී ක්‍රියා මර්දන ඒකකයට’ ලියනාරච්චිව බාර දෙන ලෙසයි. මෙම ඒකකය භෞතිකව ක්‍රියාත්මක වූයේ බටලන්ද නිවාස සංකීර්ණය තුළ පිහිටුවා තිබූ වධකාගාරයේය. ඒ අනුව ලියනාරච්චිව සපුගස්කන්දට රැගෙන ආ අතර අදාළ ‘කැලණියේ යුනිට්’ එක නම් වූ මස්මඩුවට බාර දෙනු ලැබීය.

සැප්තැම්බර් 02 දා විජේදාස ලියනාරච්චි නම් වූ මානව හිමිකම් නීතිඥවරයා බටලන්ද වධකාගාරයේ දස වද විද පන අදිමින් සිටි අතර ඔහුගේ පැහැරගැනීම යම් කතාබහකට ලක් වූ නිසා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට සිදුවිය. ඔහුව අමානුෂික වධබන්දනයට ලක්කිරීමේ අවස්ථාවන්ට රනිල් වික්‍රමසිංහ ඍජුවම සම්බන්ද වූ බවට ඇසින් දුටු සාක්ෂිද ගොනුවිය. ඉහත දැක්වූ කාරණා බටලන්ද කොමිසම් සභා වාර්තාවේ සංයුක්තව ඇත.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර පැය දෙකකට පසු ලියනාරච්චි මරණයට පත්විය. අධිකරණ වෛද්‍ය නිලධාරී එල්.බී.අල්විස්ගේ වාර්තාව අනුව ඔහුගේ මළ සිරුරේ බාහිර තුවාල දෙසීයකට අධික ප්‍රමාණයක් හා සිරුරේ ඇතුලත තුවාල සියයකට අධික ප්‍රමාණයක් විය. ඉල ඇට 17 ක් කැඩී තිබිණි. අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වූයේ ‘මොට ආයුධවලින්’ කළ පහරදීම් වලින් සිදුවූ අභ්‍යන්තර හා බාහිර රුධිර වහනයන්ගෙන් ලියනාරච්චි මහතා මරණයට පත්ව ඇති බවයි.

රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම සහිතව වධබන්දනයට ලක්කර මරා දැමූ මිනිසුන් අතර ලියනාරච්චි යනු එක් කතාවක් පමණී. අවම වශයෙන් ලියනාරච්චි අවි දැරුවේ හෝ නැත. මානව යුක්තිය හා සාධරණත්වය වෙනුවෙන් සිය නීතිමය ශක්තියෙන් හඩ නැගුවා පමණී. රනිල් වික්‍රමසිංහ යනු පෝරකයට මෙහා උපරිම දණ්ඩනයට ලක් කළ යුතු දේශපාලන මිනීමරුවෙකි. ඊට සාපේක්ෂව බොහෝ අවම වූ වරදකට පමණක් අද ඔහු අත් අඩංගුවේ සුවයෙන් පසුවෙයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *