එහිම සුදුමැලි පිටපතක් අද මහවැලියෙදි කියවමු
(විදර්ශන කන්නන්ගර)
මහේක්ෂ දේශපාලන කරළිය තුළ පැන නගින උණුසුම් මාතෘකාවලින් යට යන්න පුළුවන් ඉතාම වැදගත් ක්ෂේත්‍රයක් තමයි දේශපාලනයේ න්‍යායික-බුද්ධිමය සංවාදයන්ගේ ක්ෂුද්‍ර තලය.
අද (26) මහවැලි කේන්ද්‍රයේ සවස 4.00 ට තියෙන්නෙ එවැනි කටයුත්තක්.
මාලක දේවප්‍රියගේ ‘බහුචිතවාදියා’ චිත්‍රපටිය පාදක කරගනිමින් තිලක් කෝදාගොඩ සහෝදරයා විසින් රචනා කළ ‘එහිම සුදුමැලි පිටපතක්’ කියන ටිකක් දිගු වියමන පිළිබදව සම්මන්ත්‍රණයක්. (මෙහි පළමු සම්මන්ත්‍රණය ජූනි මාසෙ තිබුණා..ඊට අදහස් දැක්වීම් වලින් ගුනසිරි සිල්වා,මම,බූපති නලීන් හා රුවන් කුමාර සහභාගි වුණා). අද සම්මන්ත්‍රණයට සම්බන්ද වෙන කථිකයන් තුළින් මෙම පොත විසින් යෝජනා කරන සංවාදය තවත් අධියරක් වෙත ඔසවා තබනු ඇත.
ඉතාම කෙටියෙන් කිව්වොත් තිලක කෝදාගොඩ මෙම වියමන හරහා ආමන්ත්‍රණය කරන්නේ මේ වනවිට යටපත් වී ඇති හා ලාංකේය විපර්‍යාසකාරක විකල්ප දේශපාලන කතිකාවට තීරණාත්මක වූ/වන න්‍යායික-දේශපාලන අඩවියකටයි.

ඒ තමයි මනෝවිශ්ලේෂණය හා මාක්ස්වාදය අතර වන විවාදාත්මක සුසම්බන්දය විපර්‍යාසකාරක විකල්ප දේශපාලනට අදාළව යළි කියවා ගැනීම. මෙම කලාපයට අදාළව ලංකාවේ මනෝවිශ්ලේෂණය පිළිබද සාකච්චාව ඉතාම කැත තැන් වලට ඇද ගෙන ගිහින් මේ වනවිට එම කතිකාවේ තිබෙන පෙරළිකාරී විභවය ගර්හිත කර තිබෙනවා. මාක්ස්වාදී දේශපාලනය නැවුම් ලෙස සුසර කිරීම සදහා මනෝවිශ්ලේෂණය සංගතව හා නිර්මාණශීලී ඉසියුම් කමකින් සංස්ලේෂණය කරනවා වෙනුවට අවසානයේ මනෝවිශ්ලේෂණ කතිකාව රැගෙන ගියේ ‘අපොයි මනෝවිශ්ලේෂණය නම් වානා’ කියන්න පෙළඹෙන තැනකට. ලංකාවේ ශාස්ත්‍රාලය හා මාක්ස්වාදී සේයාවේ දේශපාලන කතිකාවන්ගේ සීමාව ගැඹුරින් පෙන්වා දීමට සමත් පෙරළිකාරී න්‍යායික අවියක් වූ මනෝවිශ්ලේෂණය ඉහත කී වැයික්කි ඉදිරිපිට අද බාල්දු කර දමා තිබෙනවා..දේශපාලනය නාමයෙන් මනෝවිශ්ලේෂණය අපහරණය කිරීමේ ඉතිහාස භාවිතයන් ඊට හේතු වුණා. ( ඒවා සම්බන්දයෙන් පැහැදිලිව හා පුළුල්ව සිහිපත් කරන්න මෙතන කිසිදු ඉඩක් නැහැ).
ලාංකේය මාක්ස්වාදී ලෝක දැක්ම හා එහි න්‍යායික ප්‍රවනතාවයන්ට මනෝවිශ්ලේෂණය වැනි ධාරාවන්ගේ ස්වයං විමර්ශනයක් නොමැති වීම නිසා කොහොමටත් ඊට උරුම වූ සම්‍යක් දෘෂ්ටික ප්‍රතිප්‍රදාව හුදු ආර්ථික පංතිවාදයක් ලෙස දිගටම පෙන්නුම් කෙරුණා. සම්‍යක් දෘෂ්ටික මාක්ස්වාදය හා මනෝවිශ්ලේෂණය අතර අනෝන්‍ය අභිමුඛ වීමකට අවශ්‍ය සංවාදය ලංකාවේ අනන්‍යතා ප්‍රශ්නයන් අතර ගැටුම් දක්වා පල්ලම් බැස්සා..

තිලක් කෝදාගොඩ මෙසේ යළි සාකච්චාවට විවෘත කරන්නේ මාක්ස්වාදය හා මනෝවිශ්ලේෂණය අතර යළි සන්ධිකරණයක් සදහා වූ පසු විපරමකි. යළි යෝජනාවකි. මෙය මම ද මෑත කාලයක් තිස්සේ සිතමින් සිටින න්‍යායික අවශ්‍යතාවයකි. ‘එහිම සුදුමැලි පිටපතක්’ නම් වූ කෝදාගේ මෙම වියමනෙහි සුවිශේෂත්වය වන්නේ ඉහත කී අරමුණ වෙනුවෙන් මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා චිත්‍රපටිය හා පුළුල්ව සිනමාව තේමා කරගැනීමයි.
විකල්ප-විචාරක න්‍යායකරණය හා සිනමාව අතර චින්තන පොරබැදීමකට ආශා කරන්නන් සදහා අද සවස 4.00 ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරය විවෘතව තිබෙයි.