රනිල්ට ඇප ලැබුනත් නැතත් වෙනදා වගේම ඉර පායනවා
(මෙලනි ගුණතිලක)
රනිල් වන්දනා කරන ගොඩක් අය රැවටුනේ රනිල්ගෙ කෑම්ප් එක මාධ්‍ය බලය පාවිච්චි කරලා ගොඩනංවපු රනිල්ගෙ ප්‍රතිරූපයට. ඒ කෑම්ප් එකට අයත් රූපවාහිනී, ගුවන්විදුලි මාධ්‍ය, ඩිජිටල් මාධ්‍ය ඔය ඔක්කොම එක්ක දශක ගාණක් තිස්සෙ ඒ ප්‍රතිරූපය හදන්න අවශ්‍ය සම්පත් එයාලට තිබුනා.
දහස් ගණන් තරුණ ජීවිත අහිමිවීම් වලට වගකිව යුතු, බටලන්ද කොමිසම විසින් පවා නම් කරපු රනිල් පොදු දේපළ අවභාවිතා කිරීම නිසා විත්තිකූඩුවේ ඉන්නවා දැකලා හදවත කඩා වැටුන, පොඩිකාලේ ජනහඬ බලලා රනිල් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරයි කියලා හිතපු ගොඩක් අය අහුවෙලා හිටියෙ ඒ මීඩියා ප්‍රොජෙක්ට් එකට.

ලංකාවේ සිංහල කතා කරන ප්‍රේක්ෂකයෝ වෙනුවෙන් හදපු ප්‍රතිරූපය රනිල් හොඳ, යහපත් මිනිහෙක් කියන එක නෙවෙයි. ඒ ප්රතිරූපයෙන් කිව්වෙ රනිල් බලවත්, ශක්තිමත්, කාටවත් හොල්ලන්න බැරි, නීතියට ඉහළින් ඉන්න භයානක ගේම් කාරයෙක්, විස්කි ශොට් එක අතක තියාගෙන අඩ අඳුරේ මොළේ මෙහෙයවන ගෝඩ්ෆාදර් කෙනෙක් විදිහට. වෙන එකක් තියා රනිල්ට එල්ලවුන අපරාධ චෝදනා පවා මේ දක්ෂ, භයානක ගේම්කාරයගේ ප්‍රතිරූපය මවන්න එයාලා පාවිච්චි කලා.
රට ඇතුළට ඒ ප්‍රතිරූපය මවන ගමන් රනිල්ගෙ ක්ලාස් එකේ සිවිල් සංවිධානත්, කෑම්ප් එකේ ඉංග්‍රීසි මාධ්‍යයත් ජාත්‍යන්තරයට මවපු රනිල්ගෙ ප්‍රතිරූපය වුනේ ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, සමානාත්මතාවය වෙනුවෙන් පෙනී ඉන්න නායකයෙක් විදිහට. ලංකාවේ ඉංග්‍රීසියෙන් කතාබහ කරන සර්කල්ස් වලට පෙව්වෙත් මේ ප්‍රතිරූපයම තමයි.

පහුගිය අවුරුදු කීපය ඇතුලේ වෙනස් වුනේ ලංකාවේ දේශපාලන සංස්කෘතිය විතරක් නෙවෙයි, මාධ්‍ය පරිසරයත් තව බොහෝ දේවලුත් වෙනස් වුනා. “සත්‍යය නම් මෙයයි” කීමේ අයිතිවාසිකම තවදුරටත් මාධ්‍ය සමාගම් විතරක් සතු වුනේ නෑ. රනිල්ගෙ ප්‍රතිරූපය බිඳ වැටිලා ඇත්ත ස්වරූපය එළියට ආවේ ඔය කාලේ.
ඉස්සර තෝරලා බේරලා එළියට දාපු පින්තූර වෙනුවට බෙල්ට් එකෙන් පහළට රූටන කලිසම ට්‍රෙන්ඩ් වුනා. පොඩි කොල්ලො එක්ක වාඩිවෙලා බියර් ගැන කතා කරාට කවදාවත් ලංකාවේ ජන විඥාණයට සෙට් වුනේ නැති රනිල්ගෙ ඇත්ත ස්වරූපය දිගටම විහිළුවට ලක්වුණා. පට්ටම ගේම් කාරයෙක් කිව්ව පොර නිකම්ම නිකං සීයා වෙන්න වැඩි කාලයක් ගියෙ නෑ. මාකටින් ස්ට්රැටජිස්ට්ස්ලා, ක්‍රයිසිස් මැනේජර්ස්ලා, ඉන්ෆ්ලුවන්සර්ස්ලා ඔක්කොම තියාගෙනත් රනිල්ගෙ චන්ද කැම්පේන් එක සෂී නිශාදිගෙ ටික්ටොක් එකක් තරම් වත් හිට් වුනේ නැත්තෙ ඒකයි. මෙහෙදි හසන්ගෙ ඉන්ටවීව් එකෙන් පස්සෙ දක්ෂ, භයානක ගෝඩ්ෆාදර්ගෙ ප්‍රතිරූපය වෙනුවට මේ මොන උද්දච්ච නරුමයෙක්ද කියලා හැමෝටම වගේ හිතෙන්න ගත්තා.

පුම්බපු ප්‍රතිරූපය කැඩිලා ගියාට පස්සෙත් තාමත් පොරට කඩේ යන්නේ එහෙව් ලොක්කෙක්ගෙ ළඟින් හිටගත්තත් මොකෝ, වලව්වෙ හුළං වැදුනත් සනීපයි, ලෙවල් එකේ ලේවල ඉඳන්ම වහල්කම් තියෙන සෙට් එක විතරයි. ඒ ඇරෙන්න පොහොට්ටු, සජබ සෙට් එක රනිල් වෙනුවෙන් පෙනී ඉන්නෙ ලබ්බට තිබ්බ අතෙන් පුහුලටත් ටොපිය සෙට් වෙන්න තියෙන ඉඩ නිසා මිසක්, සරලව කිව්වොත් තමන්ගේ පන්තිය බේරගන්න මිසක් වෙන හේතුවකට නෙවෙයි. තාම මේ වෙනස දිරවගත්තෙ නැති, තේරුම් ගත්තෙ නැති පිරිස් අපි අතරෙ ඉන්නවා. ඉතින් රොහාන් සමරජීවලා රනිල්ලා නැත්නම් ෆේස්බුක් නෑ කිව්වම පුදුම වෙන්න දෙයක් නැත්තෙ ඒකයි.

NPP පාලන සමය යටතේ මේ ලැබුණු උසාවි නියෝගය තීරණාත්මක වෙන්නෙ මේ අත තිබ්බෙ ලංකාවේ “කාටවත් අතක් තියන්න බෑ” කියලා හිතපු ක්ලාස් එකට නිසා මිසක් කාටවත් එයාලට අතක් තියන්න බැරි නිසාවත්, එයාලා ඉන්නෙ නීතියට උඩින් නිසාවත් නෙවෙයි. පළමු වතාවට හිටපු විධායක ජනාධිපති කෙනෙක්ට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වටපිටාවක් සකස් කරලා වර්තමාන ආණ්ඩුව ඉන්නෙ ජනතාව පැත්තේ වගට මේකෙන් ඉඟියක් ලබාදීලා තියෙන නිසා. මේ ඉඟිය වඩා බරපතල වෙන්නෙ IMF ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ජනතාව පැත්තෙ ඉන්න එක ආණ්ඩුවට සෑහෙන්න අසීරු වෙන නිසා මිසක් රනිල්ට ඇප ලැබුනොත් ආණ්ඩුවට ගෙදර යන්න වෙන නිසා නෙවෙයි.
රනිල්ට අද ඇප ලැබුනත්, නැතත් වෙනදා වගේම ඉර පායනවා. රනිල් ICU ඇඳක, ඒසී දාගෙන මහජන මුදල් නාස්ති කලත් එළියෙ වාට්ටුවක ඉඳන් විජලනය වුනත්, ජලභීතිකාව හැදුනත් ලෝකෙ පෙරලෙන්නෙත් නෑ, ජාත්‍යන්තර ප්‍රජාව සසල වෙන්නෙත් නෑ. මහජන අරගලයකට පස්සෙ, විශාල ජනමතයක් එක්ක පත්වුන ආණ්ඩුවකට විරුද්ධව මළාට චන්දයක් දිනපු නැති, දූෂණ චෝදනා තියෙන පරණ හාමු කෙනෙක් වෙනුවෙන් කවුරුවත් මේ වෙලාවෙ රිස්ක් අරගන්නෙ නෑ.
