‘ගන්කබරයෝ’ දෘෂ්ඨිවාදය
(වංගීස සුමනසේකර)
‘ගන්කබරයෝ’ යන යෙදුමේ ඇති මුග්ධ බව මා පුදුමයට පත් කරයි. එය යොදා ගන්නා අය එමගින් අදහස් කරන්නේ නාගරික සංස්කෘතියට අයත් නොවන මිනිසුන් නාගරික සංස්කෘතියට අයත් මිනිසුන්ට වඩා පහත් වන බවයි. එම අර්ථයෙන් එයද සමාජයේ මිනිසුන් අතර අසමානතාවය නඩත්තු කරන තවත් එක් දෘෂ්ඨිවාදයකි. නමුත් ‘ගන්කබරයෝ’ දෘෂ්ඨිවාදයේ විශේෂත්වය වන්නේ එය කිසිදු තාර්කිකත්වයක් නැති මුග්ධ අදහසක් කියා පහසුවෙන් ගෝචර වීමයි. එය මා පුදුමයට පත් කරන්නේ මේ නිසාය.
‘ගන්කබරයෝ’ දෘෂ්ඨිවාදය යුක්තියුක්ත කිරීමට මූලික අර්ථකථන දෙකක් ඉදිරිපත් කරයි. එක් අර්ථකථනයකට අනුව නාගරික සංස්කෘතිය තුළ ජීවත් වන මිනිසුන් පොත පත කියවයි, ඉහළ කලාව ඇසුරු කරයි, විවෘත මනසකින් ලෝකය දෙස බලයි, බුද්ධිමට්ටම අතින් ඉදිරියෙන් සිටියි.

ජීවිත කාලයම නගරයක වාසය කර ඇති කෙනෙකු ලෙස (සහ ඉන් වසර කීපයක් බටහිර රටක අගනගරයක ජීවත් වී ඇති කෙනෙකු ලෙස) මට මෙය ඇදහිය නොහැකි කතාවකි. මේ කියන ‘නාගරිකයන්’ මටනම් හමු වී නැත. මට හමුවී ඇති – ලාංකික මෙන්ම බටහිර – නාගරිකයන් බොහෝ දෙනෙකු පොත් පත් කියවන්නේ නැත. ඔවුන්ට සම්භාව්‍ය කලාව කිසිසේත් ගෝචර නොවේ. ධනය අධික ලෙස තිබෙනා සමහරුන් සිය නිවෙස් වල එල්ලා ගැනීමට චිත්‍රයක් මිලට ගත හැකිය. නමුත් මේ අයට දෘශ්‍ය කලා සාක්ෂරතාවයක් තිබෙනවා කියා මින් කිසිසේත් අදහස් වන්නේ නැත. තමන් මිලට ගත් චිත්‍රය ගැන වාක්‍ය පහක් කියන්න කියා කිවහොත් මේ සාතිශය බහුතරයක් නිරුත්තර වනු ඇත.
ජාතිවාදය වැනි පටු දෘෂ්ඨිවාදයන් මේ අයගේ සිතේ අළු යට ගිනි පුපුරු සේ තිබේ. හිජාබයක් පැළඳ සිටින ඉස්ලාම් ස්ත්‍රියක් දුටු ගමන් මේ අයගේ පිට දිගේ ඉත්තෑවෝ ගමන් කිරීමට පටන් ගනියි. මේ අය කට ඇරිය ගමන් කතා කරන්නේ ‘තම්බියෝ’ වැනි ජාතිවාදී වචනයි. බටහිර රටවල් වල මෙම ජාතිවාදය දැන් උපරිම තැනට පැමිණ තිබේ. ප්‍රංශයේ ඉස්ලාම් විරෝධය ගැන බදියුගේ ලස්සන රචනයක් මා කලකට පෙර පරිවර්තනය කළේ මේ ඊනියා බටහිර නාගරිකයන්ගේ සැබෑ රඟ පෙන්වීමටයි. ‘විවෘත මනසින්’ ලෝකය දෙස බැලීමේ දුර එපමණ වෙයි.

අනෙක් අතට පොත් පත් කියවීම, සම්භාව්‍ය කලාව රසවිඳීම, ජාතිවාදය වැනි දෘෂ්ඨිවාදයන් වලින් මිදීම වැනි දේ කළ හැකි ගම් වලින් පැමිණි බොහෝ මිනිසුන් මට හමුවී තිබේ. එය ගම / නගරය භේදය මත ඇති වන්නක් නොවේ. උපරිම වශයෙන් කිව හැක්කේ නගරයක ජීවත් වෙන කෙනෙකුට පොතපත ලබා ගැනීමට, කලාව ඇසුරු කිරීමට වැඩි අවස්ථාවක් ඇති බවයි. නමුත් මෙය තමන් උපන් ස්ථානයේ ගැටලුවක් මිස ඒ මිනිසුන්ගේ ගැටලුවක් නොවේ. තමන් ඉපදෙන්නේ කොතැනද කියා අප කවුරුත් තීරණය කරන්නේ නැත. එනිසා කෙනෙකු උපන් ස්ථානය නිසා පහත් කොට සැලකීම යනු නග්න වර්ගවාදයක් පමණි. මෙය උපතින් ආබාධිත පුද්ගලයකුට ආබාධය පෙන්වා සිනහ සීමට කිසිසේත් වෙනස් නොවේ. මේ දෘෂ්ඨිවාදයේ මුග්ධ බව එතරම්ය.
‘ගන්කබරයෝ’ යන්න සඳහා ඇති දෙවැනි අර්ථකථනය වන්නේ එසේ හැඳින්වෙන අයට ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි කතා කිරීමට, බොජුන් හලක ආහාර ගන්නා සම්මතයට අනුව ආහාර ගැනීමට, වර්තමානයේ පවත්නා විලාසිතා වලට අනුව ඇඳුම් ඇඳීමට, සභාවක හැසිරීමට නොහැකි බවයි.

නමුත් මෙය ඉහත පළමු තර්කයටත් වඩා දුර්වල තර්කයකි. ඉංග්‍රීසි භාෂාව කතා කිරීමෙන් මිනිසෙකු උස් පහත් වන්නේ නම් අපට කිව හැක්කේ අපේ රටේ සිටින සිංහල පමණක් දත් වඩාත්ම පරාර්ථකාමී මිනිසාට වඩා එංගලන්තයේ සිරගෙවල් වල සිටින බිහිසුණු අපරාධකරුවන්, වධකයන් වැනි අය ‘උසස්’ බවයි.
අනෙක් අතට මේ ලෝකයේ තිබෙන සියලුම සංස්කෘතික අවකාශයන් වල හැසිරිය යුතු ආකාරය දන්නා මිනිසුන් සිටිනවා කියා මා සිතන්නේ නැත. එසේ සිටින්නේ නම් ඔවුන් මිනිසුන් විය නොහැකිය. මට ආගන්තුක සංස්කෘතික අවකාශයන් මේ ලෝකයේ කෙතරම් තිබේද? එවැනි තැනක මා හැසිරෙන්නට නොදැන සිටීම මගේ වරදක් වන්නේ කෙසේද?
මේ සම්බන්ධ අපූරු කතාවක් කලකට පෙර මගේ මිතුරෙකු මට කියා තිබේ. ඊනියා චාල්ස් ‘රජු’ (එකල ඔහු ‘කුමාරයෙකි’) පොදු රාජ්‍ය මණ්ඩල සමරුව වෙනුවෙන් අපේ රටට පැමිණි විට අපේ රටේ තෝරාගත් පිරිසකට පුද්ගලික රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර ඇත. එයට ආරාධනා ලැබ සිටියේ අපේ රටේ සාමාන්‍යයෙන් නාගරික පොෂ් පොරවල් කියා සැලකෙන පිරිස අතරින් ඉහලින්ම සිටි පිරිසකි. නමුත් මෙම ආරාධිතයන්ට එම භෝජන සංග්‍රහයට පෙර මේ ‘උත්තර මිනිසා’ ඉදිරියේ හැසිරිය යුත්තේ කෙසේද කියා උගන්වන පෙරහුරුවක්ද පවත්වා තිබේ. අපේ රටේ නාගරික පොෂ් පොරවල් සියලු දෙනා නීච ලෙස ඔහු ඉදිරියේ දෙකට තුනට නැමෙන ආකාරය එහිදී කීකරු ලෙස ඉගෙන ගත් ආකාර මගේ මිතුරා මට විස්තර කළේය.
නමුත් ‘ගන්කබරයෝ’ දෘෂ්ඨිවාදයේ මුග්ධ බව තේරුම් ගැනීමට මේ කතාව වැදගත් වන්නේ ඔවුන්ගේ නීච බව නිසා පමණක් නොවේ. ඒ සමගම එමගින් මේ දෘෂ්ඨිවාදයේ ඇති මුග්ධ බව අපට ආකාර දෙකකින් පෙන්වා දෙයි. පළමුවෙන්, මේ ඊනියා නාගරික පොෂ් පොරවල් එතැනට ‘සුදුසු’ පරිදි හැසිරීමට නොදන්නා බව චාල්ස්ගේ උත්සව සංවිධායකයෝ දැන සිටියෝය. මේ නාගරික පොෂ් පොරවල් වලට එය විශේෂයෙන් ඉගැන්විය යුතුය කියා ඔවුන් තීරණය කළේ එම නිසාය. දෙවනුව, එය ඔවුන්ට පහසුවෙන් ඉගැන්විය හැකි බවත් එම සංවිධායකයෝ දැන සිටියෝය. ‘පොෂ් විදියට’ හැසිරීම මහ අරුමයක් නොවන්නේ මේ නිසාය.

එම අර්ථයෙන් ‘ගන්කබරයෝ’ කියා මිනිසුන්ට අපහස කිරීම යනු ඇදහිය නොහැකි අසමානතාවයක් වෙනුවෙන් පෙනී සිටීමකි. අවම වශයෙන් IQ පරීක්ෂණ වැනි දේ මගින් පවත්වාගෙන යන අසමානතාවයේ දෘෂ්ඨිවාදයන් මෙයට වඩා දාර්ශනිකව අභියෝගාත්මක අසමානතාවයන්ය. එවැනි දේ ප්‍රතික්ෂේප කළ හැක්කේ මිනිසාගේ සිතීමේ උත්තරීතර බව නිශ්චිතව සලකුණු වන ස්ථානය කුමක්ද කියා පෙන්වා දීමෙන් සහ එතැනදී අප සියලු දෙනා සමාන වන බව පෙන්වා දීමෙනි.
නමුත් මිනිසුන්ට ‘ගන්කබරයෝ’ කියා අපහස කිරීම පසුපස මේ ආකාරයේ දෘෂ්ඨිවාදයක් හෝ නොමැත. එය සත්‍ය වශයෙන්ම නග්න වර්ගවාදයක් පමණි. එමගින් සිදුකරන්නේ අපේ රටේ ධනය හිමි මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිමින් අන් සියලු දෙනා විවෘතව පහත් කොට සැලකීමයි. එයට අබමල් රේණුවක යුක්තියුක්ත කිරීමක් නැත. එම අර්ථයෙන් මේ ආණ්ඩුවට එරෙහි වන අය මේ ‘ගන්කබරයෝ’ දෘෂ්ඨිවාදයේ මුග්ධත්වයට හසුවීම සම්බන්ධයෙන් පුදුම විය යුතුද නැත. ඒ මගින් ඔවුන් සම්බන්ධයෙන් බොහෝ දේ අපට කියවෙයි.
