තුර්කියට පනින්නයි හිටියේ, රටවල් 20ක ජීවත් වුණා – කෙහෙල්බද්දර පද්මේ
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලෑස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට අපේ වලිගෙවත් අල්ලන්න ලැබෙන්නේ නැහැ” යැයි පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා හමුවේ කියා සිටියේය.
“මම හීනෙකින්වත් හිතුවෙ නැහැ සර්ලා ජකර්තාවලට ඇවිත් අපිව අල්ල ගනියි කියලා. හැබැයි මට දැණුනා අපට මොකක්හරි කරදරයක් වෙන්න යනවා කියලා. අපි තව දවස් දෙකකින් තුර්කියට යන්න ලෑස්ති වෙලා හිටියේ. එහෙ නැවතිලා ඉන්න ඕනෑ කරන හැම දෙයක්ම සූදානම් කරගෙන හිටියේ.
මම ලෝකෙ රටවල් 20ක විතර ඉඳලා තියෙනවා. ඒ රටවල් අතරින් අපට ඉන්න තිබුණු ආරක්ෂිතම රට විදිහට දැක්කෙ ඉන්දුනීසියාව.
ලංකාව වගේ 29 ගුණයක් මේ රට ලොකුයි. විශාල ජනගහනයක් ඉන්නවා. අපිට හැංඟිලා ඉන්න ආරක්ෂිතම රට විදිහට දැක්කෙ මේ රට.
අපි ලංකාවෙදි අහු වුණත් මේ රටේදී අහුවෙයි කියලා හිතුවේ නැහැ. අපිව අල්ලගත්ත දවසෙදි තොරතුරක් ආවා ඕලුගල සර් ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ නිසා තමයි අපි හිටපු තැන මාරු කරලා වෙන තැනකට පැන්නේ. ඒත් අන්තිමේදී අපි පොලිසියට කොටු වුණා” යැයි කෙහෙල්බද්දර පද්මේ රොහාන් ඕලුගල මහතා හමුවේ තවදුරටත් කියා සිටියේය.
ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේදී අත්අඩංගුවට ගත් පාතාල ප්‍රබලයන් වන කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ත, පානදුරේ කුඩු නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් යානයකින් පෙරේදා (30දා) රාත්‍රි මෙරටට ගෙන එනු ලැබූහ.
ඉන්දුනීසියා පොලිසියේ නිලධාරීන් දොළොස් දෙනකු සහ ශ්‍රී ලංකාවෙන් ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නව දෙනකුගේ ආරක්ෂාව යටතේ මෙම පාතාල අපරාධකරුවන් මෙරටට රැගෙන එන ලදී.
මෙම මෙහෙයුම භාරව සිටි සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මහින්ද ජයසුන්දර යන මහත්වරු ද එම ගුවන් යානයෙන්ම දිවයිනට පැමිණියහ.
ශ්‍රී ලංකාවට රැගෙන ආ පාතාල අපරාධකරුවන් සම්බන්ධයෙන් සිදුකරන ආරක්ෂක වැඩපිළිවෙළ පරීක්ෂා කිරීම සඳහා මහජන ආරක්ෂාව හා නීතිය, සාමය පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීහු රැසක් මේ අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.
පාතාල අපරාධකරුවන් රැගෙන ආ මෙහෙයුමට නායකත්වය දුන් රොහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරීහු ඉතාම උණුසුම් අන්දමින් මල් මාලා පළඳවමින් ගුවන්තොටුපළේදී පිළිගනු ලැබූහ.
මෙම පාතාල අපරාධකාරයන් රැගෙන ඒමට ආරක්ෂාව දුන් ඉන්දුනීසියානු පොලිසියේ නිලධාරීන්ට මෙහිදී ත්‍යාග සහ සමරු තිළිණ ලබාදීමට අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා කටයුතු කළහ.
පාතාල අපරාධකරුවන් ආරක්ෂිතව කොළඹට රැගෙන යෑමට පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් කීපයක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.
එහිදී දැඩි ආරක්ෂාවක් යටතේ මෙම පාතාල අපරාධකරුවන් කොළඹට රැගෙන යන ලදී.
අත්අඩංගුවේ සිටි පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ත සහ පානදුරේ නිලංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.
පාතාල අපරාධකරුවන් වන තැඹිලි ළහිරු සහ බැකෝ සමන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති අතර ඔවුහු වරාය පොලිසියේ රඳවා සිටිති.
මෙම අපරාධකාරයන් පස් දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.
අලුත්කඩේ අධිකරණය තුළදී ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූයේ කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත වෙතය. පානදුර ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු මිනිස් ඝාතන කීපයක් සම්බන්ධයෙන් කුඩු නිලංගට එරෙහිව චෝදනා එල්ල වී තිබෙයි.
මිද්දෙණියේ කජ්ජා නමැත්තා සහ ඔහුගේ කුඩා දරුවන් දෙදෙනා පසුගියදා වෙඩි තබා ඝාතනය කර තිබුණේ බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අපරාධකාරයන්ගේ නියෝග මතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
@දිවයින