Latestදේශීය

අනුරගේ ෆයිල් වලට මොකද වුනේ? තාම කැබ් එකේ පිටිපස්සෙ ද? – සාගර කාරියවසම්

සොරකම්වල ලිපිගොනු මහා විශාල ප්‍රමාණයක් අනුර කුමාර දිසානායක සහෝදරයාගේ වාහනය පිටුපස තිබූ බව ප්‍රකාශ කළ නමුත් අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වූ පසු තත්ත්වය වෙනස් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී කාරියවසම් මහතා මෙසේද පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ රටේ මහා වෛරයක් වැපුරුවා. මේ රටේ සාමකාමී, එකිනෙකාට ආදරය කරන ජනතා හදවත් තුළ වෛරය කියන විෂ බීජය වපුරවන්න මුල් වුයේ, ක්‍රියා කළේ අනුර කුමාර දිසානායක මැතිතුමා ඇතුලු‍ ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන් ඒ දවස්වල ප්‍රකාශ කළ හොරකම් පිළිබඳව අපට මතකයි. ලංකාවේ රජය සතු මුදල් උගංඩාවට ගෙනියපු බව, ඩුබායි බැංකුවල මේ රටේ හොරකම් කළ ජාතික ධනය තැන්පත් කළ ඇති බව දිගින් දිගටම ඔවුන් ප්‍රකාශ කළ සිටියා. ඒ වගේම චීනයෙන් මුදල් ලැබිච්ච චෙක්පත්වල අංක තිබෙනවා කියලා මේ ආණ්ඩුවේ සමහර පිරිස් ප්‍රකාශ කළ සිටියා. මේ සොරකම්වල ලිපිගොනු මහා විශාල ප්‍රමාණයක් ඒ දවස්වල අනුර කුමාර දිසානායක සහෝදරයාගේ වාහනය පිටුපස තිබූ බව ප්‍රකාශ කළා. හැබැයි අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වූ පසු ඒ තත්ත්වය වෙනස් වී දැන් වන විට අපිට පෙනී යන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ලිපි ගොනුවල තිබෙන්නේ එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා, මහින්දානන්ද අලු‍ත්ගමගේ මැතිතුමා, ශෂේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා ආදි මේවගේ පිරිස් සම්බන්ධ සිල්ලර ලිපිගොනු ටිකක් තබාගෙන තමයි මේ අනුර කුමාර දිසානායක මහතා මේ මහා ලොකුවට කෑගැසුවේ. අනුර කුමාර දිසානායක මැතිතුමා මේ රටේ ජනතාවට මනමේ, සිංහබාහු පෙන්වනවා කියලා අන්තිමට අද එතුමා වෙනත් නාටකයක් පෙන්වමින් සිටිනවා. මේ කාරණය පිළිබඳව ජනතාව හොඳින් තේරුම් ගතයුතුයි.

අවුරුදු 75 ක් තිස්සේ මේ රටේ පාලකයෝ ජනතාව වෙනුවෙන් කුමක්ද කළේ කියන ඒ මුක්ත ප්‍රශ්නය අසපු තරුණයින්ට අපි දැක්කා තරුණ වෛරද්‍යවරයෙක් පසුගිය දවසක ඉතාම ලස්සන පිළිතුරක් ලබාදී තිබුණා, මේ රටේ නිදහස් අධ්‍යාපනය කියන්නේ අවුරුදු 76 ක පාලනය තුළ මේ රටේ ජනතාවට ලැබිච්ච විශාලම දායාදයයි කියලා. මේ රටේ අලු‍තින් මාර්ග පද්ධති, දුම්රිය මාර්ග පද්ධති, වාරායන්, ගුවන් තොටුපොලවල් නිර්මාණය වුණා. අවුරුදු 76 තුළ මේ රටේ ජනතාවට ඒ ලබාදුන් දේ අතරින් ප්‍රධානම සහ වැදගත්ම දෙය තමයි මේ රටේ උගත්, අනාගත දූදරු පිරිසක් බිහිකිරීම සඳහා නොමිලේ අධ්‍යාපනය ලැබීමට මේ රටේ ජනතාවට තිබෙන හැකියාව සහ නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාගන්න පුළුවන් බව. මේ තමයි 76 වසරක් තිස්සේ මේ රටේ පාලකයින් ජනතාවට ලබාදුන් දේවලින් එක කොටසක්. හැබැයි මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් 76 වසරක් තිස්සේ මේ රටේ පාලකයින් ලබාදුන් ඒ නිදහස් අධ්‍යාපනය විනාශ කරන්න ජනාධිපතිතුමන්ගේ රජය කටයුතු කරන බව අපිට මේ වන විට තේරුම් ගිහින් තිබෙනවා. ලංකාවේ මේ වන විට මෙම රජය යටතේ ඇති වී තිබෙන ගුරු පුරප්පාඩු සංඛ්‍යාව තිස් තුන්දාහස් පන්සිය පනස් හතක් තිබෙන කාරණය අපේ ගුරු සංගමය තුළින් අපිට දැනුවත් කර තිබෙනවා. මේ සංඛ්‍යා ලේඛන සියයට සියයක් නිවැරදිතාවය සම්බන්ධයෙන් මම සහතික වන්නේ නැහැ. නමුත් මෙවැනිම වූ ආකාරයේ ගුරු හිඟයන් සමස්ථ ලංකාව පුරාම තිබෙන බව මේ වන විට රහසක් නොවේ. අවුරුදු 76 ක් තිස්සේ මේ රට පාලනය කළ පාලකයින් රටේ අනාගත පරපුර වෙනුවෙන් ලබාදීපු ඒ නිදහස් අධ්‍යාපනය විනාශ කර දමලා. ඔවුන්ට අවශ්‍ය පරදි, ඔවුන් කියන දේ අසාගෙන, බුද්ධියෙන් තොර, දැනුමෙන් තොර අනාගත පරපුරක් මේ රටේ බිහිකරන්න මාලිමා රජය උත්සහ දරනවා යන්න දැන් මේ රටේ ඇති වී තිබෙනවා. ඒ නිසා ‍මේ රටේ අනාගත පරපුරට ආදරය කරන කෙනෙක් සිටිනවානම් වහාම මේ සම්බන්ධයෙන් මැදිහත්වි මේ රටේ උගත් අනාගත පරපුරක් බිහිකිරීම වෙනුවෙන් වහාම මේ ගුරු පුරප්පාඩු පුරවා රටේ අධ්‍යාපනය යථාවත් කරන ලෙස ඉල්ලීම රජයෙන් කරනවා.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *