Uncategorized

මහපාරට පැමිණි විශ්‍රාමික රාජ්‍ය සේවක විරෝධය

2020-2024 වර්ෂවල විශ්‍රාම ලැබූ රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කරදෙන ලෙස රජයට බලකරමින් රජයේ විශ්‍රාමිකයන් විශාල පිරිසක් ඊයේ (02 දා) කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක නිරතවීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ 2020 වසරේ සිට 2024 වසර දක්වා වසර 4ක් පැවැති රජයන් රාජ්‍ය සේවයට වැටුප් වැඩිවීමක් නොකළ බවත් එම තත්ත්වය සලකා බලා 2025 වසරේ ලබාදුන් වැටුප් වැඩිවීමට සාපේක්ෂව විශ්‍රාම වැටුපක් එම කාලයේ විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන්ට ලබාදෙන ලෙසත් ඉල්ලා ඔවුහු විරෝධතාවේ නිරත වූහ.

‘30 වසරක් රටට කළ සේවයට ලැබුණු උපහාරය වැටුප් විෂමතාවයද?’ ‘2020-2024 විශ්‍රාමික අයගේ වෘත්තීය අභිමානය රැකදෙන්න’ වැනි වැකි සහිත පුවරු විරෝධතාකරුවන්ගේ අතේ විය.

මෙහිදී මාධ්‍ය හමුවේ කතා කළ 2024 විශ්‍රාමික සංවිධානයේ සභාපති මාලිග විමලසූරිය මහතා මෙසේ පැවැසීය.

“පසුගිය අයවැයේදී මේ ආණ්ඩුව විශාල ප්‍රමාණයකින් රාජ්‍ය සේවයේ මූලික වැටුප් වැඩි කළා. අපි මතක් කරන්න කැමතියි. ඇයි එහෙම විශාල ප්‍රමාණයකින් වැටුප් වැඩි කරන්න සිද්ධ වුණේ කියන එක. එහෙම වැටුප් වැඩි කරන්න වුණේ ආණ්ඩුව පිළිගත්තා 2020-2024 කාලයේ වැටුප් වැඩි වුණේ නැහැ, මේගොල්ලො අඩු වැටුප් ලබන රාජ්‍ය සේවකයො කියලා. එතකොට අඩු වැටුප් ලබන රාජ්‍ය සේවකයන්ට හොඳ ජීවිතයක් දෙන්න. නමුත් 2020-2024 කාලයේදී අඩු වැටුප් ලබමින් ඉඳලා 2025න් පසු විශ්‍රාම යන අය ලබන විශ්‍රාම වැටුප අපි ලබන විශ්‍රාම වැටුපට වඩා 70%ත් 80%ත් අතර වැඩි විශ්‍රාම වැටුපක් බවට පත්වෙලා තියෙනවා. අපි ඉල්ලන්නෙ අපිටත් සමානත්වය දෙන්න කියලයි. මේ සමානත්වය වෙනුවෙන් තමයි අද අපි අරගලයට බැහැල ඉන්නේ. අපි මේ සටන අත්නොහැර ජයග්‍රහණය තෙක්ම කරගෙන යනවා.”

මෙම විරෝධතාව අතරතුරදී විරෝධතාකරුවන්ගෙන් හයදෙනකුට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු හමුවීමට අවස්ථාව හිමිවිය.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *