ඊශ්‍රායලය ගාසා නගරය වටලයි – සරණාගත කදවුරු වලට බෝම්බ දමයි
- ජන සංහාරය නැවැත්වීමට මැදිහත් වන්නැයි හමාස් සංවිධානය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි
- සටන් විරාමයකට සූදානම් බවටත් නිවේදනයක්
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිදු කරන ජන සංහාරය නැවැත්වීමට වහාම මැදිහත් වන ලෙස හමාස් සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ගාසා තීරයේ පුළුල් සටන් විරාමයක් පිළිගැනීමට සූදානම් බව නිවේදනය කරමින් හමාස් සංවිධානය මේ ඉල්ලීම කර ඇතැයි ද අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ඊශ්‍රායල හමුදාව ගාසා නගරයේ ගොඩනැඟිල්ලෙන් ගොඩනැඟිල්ල බිමට සමතලා කරමින් භූමිය අත්පත් කරගැනීමේ මෙහෙයුම අඛණ්ඩව සිදු කරන බවට චෝදනා කරමින් හමාස් සංවිධානය එම නිවේදනය නිකුත් කර තිබේ.

පෙරේදා නිකුත් කළ නිවේදනයෙන් හමාස් සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයේ පුළුල් සටන් විරාමයක් පිළිගැනීමට සහ පලස්තීන සිරකරුවන් වෙනුවෙන් සියලු ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට සූදානම් බවය.
පෙරේදා දිනය පුරා ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට අඛණ්ඩව බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති අතර, එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් 73 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය. ඊශ්‍රායල හමුදාව ගාසා නගරයේ ජනාකීර්ණ ප්‍රදේශ ඉලක්ක කරමින් සිදු කළ එම ප්‍රහාරයෙන් සරණාගත කඳවුරු භූමියේ කූඩාරම්වල නවාතැන් ගෙන සිටි පලස්තීනුවන් පවුල් පිටින් ඝාතනයට ලක්වී ඇතැයි ද වාර්තා වේ.

ගාසා තීරයේ යුද ගැටුම් ආවරණය කිරීම සඳහා පිහිටුවා ඇති මාධ්‍ය කාර්යාලය ද හමාස් සංවිධානයේ නිවේදනය තහවුරු කර ඇති අතර, පසුගිය සති තුන ඇතුළත ගාසා නගරයේ අවම වශයෙන් පුපුරන ද්‍රව්‍ය පිරවූ රොබෝ යන්ත්‍ර 100ක් පුපුරුවා හැරීමට ඊශ්‍රායල හමුදාව කටයුතු කර ඇතැයි ප්‍රකාශ කර තිබේ. එම මාධ්‍ය කාර්යාලයේ තොරතුරුවලට අනුව පසුගිය අගෝස්තු 13 වැනිදා සිට ඊශ්‍රායල හමුදාව ගාසා නගරයේ සිදු කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 1,100ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.
@දිනමිණ