Latestදේශීය

ලංකාව අයිස්ලන්තයක් කරන්න ගෙනා කන්ටේනර් දෙකක් සොයාගනී

කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරට නිෂ්පාදනය කිරීමට ඉදිකළ අයිස් මත්ද්‍රව්‍ය කර්මාන්තශාලාවට යොදා ගැනීමට රැගෙන ආ බව කියන රසායන ද්‍රව්‍ය තොගයක් බවට සැකකරන කන්ටේනර් දෙකක් මිද්දෙනිය තලාව ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබියදී පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (04දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පාතාල ප්‍රබලයකු වන බැකෝ සමන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ රොහාන් ඕලුගල සහ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් කළ මෙම වැටලීමෙහිදී අදාළ රසායන ද්‍රව්‍ය ගබඩා කළ කන්ටේනර් දෙක සොයා ගැනීමට හැකි විය.

මෙම කන්ටේනර් දෙකේ තිබූ රසායන ද්‍රව්‍යවලින් කොටසක් වළ දමා ඇති බවට ලැබුණු තොරතුරක් මත ඒවා සෙවීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් රසායන ද්‍රව්‍ය පරීක්‍ෂා කිරීම සඳහා රජයේ රස පරීක්‍ෂක වෙත භාරදී ඇත.

කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරට ස්ථාපිත කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය කර්මාන්තශාලාව නුවරඑළියේ නිවසක පිහිටුවීමට සූදානම් කර ඇත. රුපියල් ලක්‍ෂ 40ක් වැය කර නිවසක් මිලට ගෙන ඊට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

මෙම අයිස් මත්ද්‍රව්‍ය කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා පාකිස්තාන් ජාතිකයන් දෙදෙනකු ද පද්මේ සමග එකතුවී ඇත. ඔවුන් ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිතව සිට ඇත.

මෙම කන්ටේනර් දෙකේ තිබෙන රසායන ද්‍රව්‍යවල බර ප්‍රමාණය මෙතෙක් හෙළී වී නැත. කන්ටේනර් රථ දෙක ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇත්තේ ඉකුත් ජනවාරි මස 22 වැනිදාය.

එය පසුව මිද්දෙනිය ප්‍රදේශයේ ඉඩමක් වෙත රැගෙන ගොස් කන්ටේනර් රථවලට ගබඩා කරගෙන සිට ඇත.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ රොහාන් ඕලුගල මහතාගේ අධීක්‍ෂණයෙන් ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *