ඉතිහාසය අළුත් කළ නි. පොලිස්පතිවරියෝ
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස අභිෂේක ලබන්නට නිලධාරිනියෝ සිවුදෙනෙකු සමත්වූහ. එම නිලධාරිනියන් වන්නේ දර්ශිකා කුමාරි, පද්මිණි වීරසූරිය, රේණුකා ජයසුන්දර සහ නිශානි සෙනෙවිරත්න යන මහත්මීන්ය.
මේ නිලධාරිනියන් සිවුදෙනා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට අදාළ නියෝග පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී නිකුත් කළේය. මේ උසස්වීම් මේ නිලධාරිනියන්ට ලැබී ඇත්තේ පැවති සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබාගෙනයි. ශ්‍රී ලංකා පොලීසියේ සංයුතියට අනුව කාන්තා නියෝජ්‍ය පොලිස්පති ධුර ඇත්තේ 04ක් පමණි. එම හතර පසුගිය කාලයේ වැඩ බලන පදනම මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් සිවුදෙනකුට දී තිබුණි.
මේ නිලධාරිනියන් අතරින් දර්ශිකා කුමාරි හැරුණු කොට සෙසු නිලධාරිනියන් තිදෙනාම වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස මෙතෙක් සේවයේ නිරත වූවාය. සම්මුඛ පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ගනිමින් නියෝජ්‍ය පොලිස්පතිනියන් අතර පළමු තැනට පත්ව ඇත්තේ ද ඇය වීම විශේෂිතය.
ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පති ලෙස හඳුන්වා දුන් බිම්සානි ජාසිංහආරච්චි මහත්මියට මෙහිදී ස්ථිර නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස උසස්වීම් ලබා නැත. ඇය 2020 වසරේ සිට ශ්‍රී ලංකා පොලීසියේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස සේවයේ නිරතව සිටියාය. පොලිස් සේවයේ කාන්තා නිලධාරීන්ට නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු ඇත්තේ හතරක් බැවින් ඇයට සිදුව ඇත්තේ නැවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් ලෙස සේවයේ නිරත වන්නටය.
ඇය වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස පවා ඉහළට එන්නේ පොලිස් සේවය තුළ තමාට සිදු වූ බව කියන අසාධාරණකම් ගැන අධිකරණයට කරුණු කියා අධිකරණ නියෝගයකට අනුවයි. ඇය නැවත වරක් මේ තත්ත්වය මත අධිකරණයට යෑමේ සූදානමකින් සිටින බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
කාන්තා නිලධාරිනියන් සිවුදෙනෙක් නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට අදාළ නියෝගය පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කරන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර දුන් ලැයිස්තුවට අනුවයි. එසේ නොමැතිව පොලිස්පතිවරයා විසින් ඔහුට වුවමනා අය නියෝජ්‍ය පොලිස්පති ධුරයන්ට උසස් කර පත්වීම් දෙමින් බිම්සානි නොසලකා නොවන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව මෙතෙක් බිම්සානිට නාමිකව ලැබී තිබූ ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය තනතුරේ කිරුළ කාන්තා නිලධාරීන් සිවුදෙනකු සමව බෙදා යනු ඇත. ඒ අතර ඉහළින්ම සිටින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරිය. ඇය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ ප්‍රථම කාන්තා අණදෙන නිලධාරිනිය ලෙස සේවයේ නිරතව සිටියාය.
දෙවැනි තැන රැඳී සිටින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණි වීරසූරිය මහත්මියයි. ඇය මේ වන විටත් කළුතර දිසාවේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවයේ නිරතව සිටින්නීය. මෙරට ඉතිහාසයේ කාන්තා නිලධාරිනියක් දිස්ත්‍රික්කයක් භාරව කටයුතු කර ඇත්නම් ඒ පළමු නිලධාරිනිය වන්නේ ඇයයි. එසේම ඇය වාර්තා පොත් අතරට එකතු වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ එතෙක් මෙතෙක් බිහි වූ පළමු කාන්තා විමර්ශන අධ්‍යක්ෂ ලෙසයි.
ඉතිහාසයට එක්වූ තුන්වැනි නියෝජ්‍ය පොලිස්පතිවරිය වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රේණුකා ජයසුන්දර මහත්මියයි. ඇය මේ වන විට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාවේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස කටයුතු කරමින් සිටියාය.
මේ කණ්ඩායමේ සිවුවැන්නිය වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශානි සෙනෙවිරත්ත මහත්මියයි. පර්යේෂණ හා තොරතුරු කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස ඇය ද වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිනියක් ලෙස සේවයේ නිරතව සිටියාය. සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවයේ නිරත මහින්ද ගුණරත්න මහතා ඇගේ සැමියාය.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ අලුත්ම වාර්තාවක් තබන මේ නිලධාරිනියන් සිවුදෙනා පොලීසියට එක්වන්නේ ද පොලිස් ඉතිහාසයේ වාර්තාවක් තබමිනි. ඒ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම ආධුනික උප පොලිස් පරීක්ෂකවරියන්ගේ කණ්ඩායමේ ද මේ සිවුදෙනාම නියෝජනය කරමිනි. ඒ 1997 වසරේදීය. මේ සිවුදෙනා ලද උසස්වීම මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන බව පොලිස්පතිවරයා විසින් නිකුත් කළ නියෝගයේ දැක්වේ.
ශ්‍රී ලංකා පොලීසියේ මේ වන විට කාන්තා නිලධාරිනියන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයක් පුරප්පාඩුව පවතී. මේ තනතුර සඳහා මෙතෙක් ඉතිහාසයේ කිසිදු කාන්තා නිලධාරිනියක් පත්ව නැත. එම අවස්ථාව හිමිවන්නේ මේ නිලධාරිනියන් සිවුදෙනාගෙන් එක් අයකුටය. නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වසර 03ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එම තනතුර මේ සිවුදෙනාගෙන් අයකුට ලැබෙනු ඇත.
@දිනමිණ