Latestදේශීය

නුවර එළියේ අයිස් හදා රටපුරා විකුණලා

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක කණ්ඩායම විසින් නුවරඑළිය ප්‍රදේශයේ රහසිගත ස්ථානයකදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නිෂ්පාදනය කර ඒවා අලෙවි කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයාගත් රසායන ද්‍රව්‍ය යොදාගෙන ඇති බවද මේ වන විට අනාවරණය වී තිබේ.

එහෙත් පද්මේ ඇතුළු සංවිධානාත්මක කල්ලිය විසින් මෙරටදී නිෂ්පාදනය කළ අයිස් මත්ද්‍රව්‍ය විදේශ රටවලින් ගෙන්වන අයිස් මත්ද්‍රව්‍ය තරම් හොඳ තත්ත්වයේ තිබී නැති බවද පොලිසිය හෙළි කරගෙන ඇත.

අවස්ථා කිහිපයකදීම මොවුන් මෙරටදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇතත් ඒවා නියම ප්‍රමිතියට ගැනීමට අපොහොසත් වී ඇති බවද වාර්තා වෙයි.

මේ අතර අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගෙන ආ බවට සැකකරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000 කට ආසන්න ප්‍රමාණයක් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ සහ තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශවල සඟවා තිබියදී පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම රසායන ද්‍රව්‍ය තොගය සඟවා ඇත්තේ පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි සහ ඔහුගේ සොහොයුරා වන පියල් මනම්පේරි විසින් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම සොහොයුරන් දෙදෙනා අදාළ රසායන ද්‍රව්‍ය තොගය පසුගිය 01 වැනිදා මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ඉඩමක් වෙත ට්‍රැක්ටර්වලින් ගෙනත් දමන ආකාරයත් ඒවා බැකෝ යන්ත්‍ර යොදාගෙන වළ දැමූ ආකාරයත් සී.සී.ටී.වී. කැමරාවල තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ බාල සොහොයුරා වන පියල් මනම්පේරි නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් මෙහි ප්‍රධාන සැකකරුවකු වන සම්පත් මනම්පේරි ප්‍රදේශය අතහැර පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

මිද්දෙණියේ තිබී සොයාගත් රසායන ද්‍රව්‍යවලට සමාන තවත් රසායන ද්‍රව්‍ය තොගයක් තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පාළු ඉඩමක දමා ගොස් තිබියදී පොලිසිය ඊයේ (07දා) සොයාගත් අතර ඒවා අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන යෑමට කටයුතු කර තිබිණි.

මෙම රසායන ද්‍රව්‍ය තොගය කන්ටේනර් දෙකක බහා ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ ඉරානයේ සිට බව පොලිසිය සැක පහළ කරයි.

කෙහෙල්බද්දර පද්මේ විසින් මෙම කන්ටේනර් දෙක එවා ඇති අතර ඊට පානදුරේ කුඩු නිලංග ද සහාය වී ඇත. රසායන ද්‍රව්‍ය මිද්දෙණිය තලාව ප්‍රදේශයට යවා ඇත්තේ බැකෝ සමන්ගේ මැදිහත්වීම මතය. කෙහෙල්බද්දර පද්මේ සමග බැකෝ සමන් ද ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත්විය.

පසුව බැකෝ සමන් විසින් මෙම රසායන ද්‍රව්‍ය තමන් සමග හිතවත්කම් පවත්වන සම්පත් මනම්පේරි හා ඔහුගේ සොහොයුරාගේ සහයෙන් මිද්දෙණිය ප්‍රදේශයට යවා ඇත්තේ ඉකුත් ජනවාරි මස 27 වැනිදාය.

අයිස් නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය තොගයක් අඩංගු කන්ටේනර් රථ දෙක ශ්‍රී ලංකා රේගුවෙන් පිට කළේ කෙසේද යන්න සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්‍ෂණයක් පවත්වාගෙන යයි.

මෙම රසායන ද්‍රව්‍ය තොගය මිද්දෙණිය ප්‍රදේශයේ සඟවා තබාගෙන අවශ්‍ය වූ විට ඒවායෙන් කුඩා ප්‍රමාණ නුවරඑළියේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව වෙත යැවීමට මොවුන් සැලසුම් කරගෙන සිට ඇත.

එහෙත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල මැර පිරිස ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු කලබලයට පත්වූ මනම්පේරි සොහොයුරන් ඒවා වළ දැමීමට කටයුතු කර ඇති බව පොලිසිය විසින් හෙළිකරගෙන තිබේ.

මේ අතර මිද්දෙණියේ රසායන ද්‍රව්‍ය වළ දමා තිබූ ඉඩමේ තිබී අත්බෝම්බ 5ක්, ටී. 56 උණ්ඩ 18 සහ බෝර 12 උණ්ඩ කිහිපයක් ද පොලිසිය සොයාගෙන ඇත.

මෙම ඉඩමේ වළ දමා තිබූ ස්වයංක්‍රීය ගිනි අවි 07ක් පිළිබඳව ද පොලිසියට තොරතුරක් ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ දැනට අතුරුදන්ව ඇති හිටපු මන්ත්‍රීවරයා එම ආයුධ තොගය රැගෙන ගොස් ඇති බවයි.

මිද්දෙණියේ සහ හංවැල්ලේ සඟවා තිබූ රසායන ද්‍රව්‍ය සියල්ල ගොඩගෙන ඒවායේ බර මැනීම සඳහා කටයුතු කරන බව පොලිසිය පවසයි. එමෙන්ම එම රසායන ද්‍රව්‍ය රජයේ රස පරීක්‍ෂකවරයා වෙත සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත ඉදිරිපත් කර වාර්තා කැඳවීමට ද පොලිසිය කටයුතු කර තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්‍ෂණය යටතේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *