Latestවිදේශීය

ඊශ්‍රායල ප්‍රහාරයෙන් මැදපෙරදිග උණුසුම් වෙයි

(ෆවුස් මොහොමඩ්)

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවල දුම් වළලු මෑත ඉතිහාසයේදී මැදපෙරදිග අහස් තලයේ සුලබව දැකිය හැකි වුවද, කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරට එල්ල වූ ප්‍රහාරය සම්පූර්ණයෙන්ම පෙර නොවූ ආකාරයේ සිදු වීමක් බවට පත්වී තිබේ. පසුගිය 9 වැනිදා දෝහා අගනුවර ගොඩනැඟිල්ලක් ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ගාසා තීරයේ සටන් විරාමය සඳහා මැදිහත්වී සිටින කටාර් රාජ්‍යය සමඟ සාකච්ඡා කිරිමට පැමිණ සිටි හමාස් නායකයන් ඝාතනය කිරීමටය.

එහෙත් එම ප්‍රහාරයෙන් සිය නායකයන් දිවි බේරාගත් බව හමාස් සංවිධානය පසුව නිවේදනය කර තිබිණි.

යුද ගැටුම්වලින් තොර සාමකාමී රටක් ලෙස ප්‍රකට කටාර් රාජ්‍යය වසර දෙකක් පුරා ගාසා යුද අර්බුදයට විසඳුම් සෙවීම සඳහා මැදිහත් වී සිටින අතර, අමෙරිකානු හිතවාදී රාජ්‍යයක් ලෙස ද ප්‍රකටය. අනිත් අතට මැදපෙරදිග කලාපයේ විශාලතම අමෙරිකානු හමුදා කඳවුර පිහිටා ඇත්තේ ද කටාර් රාජ්‍යයේ ය. එබැවින් මේ ප්‍රහාරය අමෙරිකාව දැන සිටින්නට ඇතැයි ද අදහස් පළ වී තිබිණි. ප්‍රහාරය සම්බන්ධව අමෙරිකාව පරස්පර විරෝධී ප්‍රකාශ දෙකක් නිකුත් කිරීමද ගැටලුවට හේතුවකි.

දෝහා නගරය ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාවෙන් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට අමෙරිකානු හමුදාව විසින් ට්‍රම්ප් පරිපාලනයට සපයන ලද තොරතුරු මත වහාම කටාර් බලධාරීන් වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපදෙස් දුන් බව ප්‍රහාරයට පසුදින පැවති මාධ්‍ය හමුවේදී ධවල මන්දිරයේ ප්‍රකාශිකා කැරොලින් ලීවිට් ප්‍රකාශ කළ අතර, ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු හමුදාවෙන් ලද තොරතුරු මත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම සම්බන්ධව කටාර් රාජ්‍යයට දැනුම් දෙන ලෙස විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්ට උපදෙස් සැපයූවද, ඒ වනවිටත් ප්‍රමාද වැඩි බවය. එහෙත් අමෙරිකාව වෙතින් එවැනි අනතුරු ඇඟවීමක් සිදුනොවූ බවත්, ප්‍රහාරයෙන් මිනිත්තු 10කට පසු අමෙරිකානු බලධාරීන් කටාර් රාජ්‍යයට දුරකතනය ඇමතුමක් ලබා දුන් බවත් කටාර් අගමැතිවරයා සඳහන් කර තිබේ.

දෝහා නගරයට පහර දීමෙන් ඊශ්‍රායලය කටාර් රජයේ ඉවසීම පරීක්ෂා කර ඇති අතර, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ද දැඩි අප්‍රසාදයට ලක්වී තිබේ. එය මැදපෙරදිග කලාපයේ යුද උණුසුමක අවදානමක් මතුවීමට ද හේතු වී ඇත. ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය කටාර් රාජ්‍යයට සහයෝගය පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇති අතර, එම ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත්, ඊශ්‍රායල රජය ප්‍රහාරයට වගකිවයුතු බවත් සඳහන් කර ඇත.

ඊශ්‍රායල හමුදාව විසින් සිදු කරනු ලැබූ නින්දිත සහ බියගුලු ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව එම නිවේදනයේ සඳහන් කර ඇති අතර, කටාර් රාජ්‍යය සමඟ පූර්ණ සහයෝගිතාව අඛණ්ඩව පවත්වා ගන්නා බවටත් ප්‍රතිඥා දී තිබේ. ලොව සියලු රටවල් විසින් සම්මත කරගනු ලැබූ ජාත්‍යන්තර නීති සහ ගිවිසුම් උල්ලංඝනය කළ මේ ප්‍රහාරයට එරෙහිව ගන්නා ඕනෑම ජාත්‍යන්තර තීන්දුවකදී සහයෝගය පළ කරන බවත් ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇති අතර, මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව අස්ථාවර කිරීමට සහ අඩපණ කිරීමට ඊශ්‍රායලය ගන්නා ආක්‍රමණශීලි ක්‍රියාමාර්ග වහාම නැවැත්වීම පියවර ගත යුතු බව දැඩි ලෙස අවධාරණය කර තිබේ.

දෝහා ප්‍රහාරයෙන් පසු දිනම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ බින් සයිඩ් දෝහා නුවරට පියාසර කර ඇති අතර, ඊශ්‍රායල ප්‍රහාරයෙන් මැදපෙරදිග ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට තර්ජනයක් සිදුවූ බව කටාර් රජු ෂෙයික් ටමීම් බින් හමාද් අල් තානි සමඟ ප්‍රකාශ කර තිබේ. ඊශ්‍රායල ප්‍රහාරයට එරෙහිව පියවර ගත යුතු බවට අවධාරණය කර ඇති සවුදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුද ඊයේ දෝහා බලා පියාසර කිරීමට නියමිතව සිටි අතර, කටාර් අගමැති ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් රහ්මාන් සඳහන් කර ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාරයට කලාපීය වශයෙන් ප්‍රතිචාර දැක්වීම සාකච්ඡා කිරීම සඳහා ඉතා කඩිනමින් කටාර් රාජ්‍යයේදි සමුළුවක් කැඳවීමට සැලසුම් කර ඇති බවය.

ඒ අනුව පෙනෙන්නේ දෝහා ප්‍රහාරය මැදපෙරදිග පූර්ණ කලාපීය අර්බුදයක් නිර්මාණය වීමේ බරපතළ තත්ත්වයක් උදාකර ඇති බවය. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නියෝගයෙන් සිදු කළ බව කියන එම ප්‍රහාරයෙන් හමාස් නායකයන්ට අනතුරක් සිදු නොවූවද, කටාර් ජාතික ආරක්ෂක නිලධාරියකු ඇතුළු 6 දෙනකු ජීවිතක්ෂයට පත්වීම සුළුකොට තැකිය නොහැකි බව දේශපාලන විචාරකයෝ කියති. ප්‍රහාරයෙන් පසු කටාර් අගමැති ප්‍රකාශ කර සිටියේ ඊශ්‍රායලය රාජ්‍ය ත්‍රස්තවාදය වපුරමින් සිටින බවය. ප්‍රහාරය සම්බන්ධව ඊශ්‍රායල අගමැතිවරයා නීතිය හමුවට රැගෙන යා යුතු බවත් ඔහු ඉල්ලීමක් කර තිබේ. නෙතන්යාහුගේ ප්‍රකාශ හා ක්‍රියාමාර්ග නොතකා තවදුරටත් කලාපයේ සහ ඉන් ඔබ්බට අපක්ෂපාතී මැදිහත්කරුවකු ලෙස සිය භූමිකාව අඛණ්ඩව සිදු කරන බව කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. ඊශ්‍රායලයේ හිංසනයට එරෙහිව සාමූහික ප්‍රතිචාරයක අවශ්‍යතාව ද කටාර් රජය අවධාරණය කර ඇති අතර, ඒ සඳහා මැදපෙරදිග කලාපයේ සෙසු රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද සඳහන් කර ඇත. ඊශ්‍රායල ප්‍රහාරයෙන් මැදපෙරදිග සාමය සහ ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක්වූ බැවින් ඉදිරියේදි මැදපෙරදිග කලාපයට පුළුල් ආරක්ෂක විධිවිධාන ඇතුළත් ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ගල්ෆ් කලාපයේ රටවල අවධානය යොමු වී ඇත.

බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ස්වාධීන සංවිධානයක් වන චැතම් හවුස්හි මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු වැඩසටහනේ අධ්‍යක්ෂිකා සනම් වකීල් සඳහන් කර ඇත්තේ දෝහා ප්‍රහාරයෙන් කටාර් රාජ්‍යය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය අතර බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමට හේතුවනු ඇති බවය. සිය රාජ්‍යතාන්ත්‍රික බලපෑම් භාවිත කරමින් මැදපෙරදිග අරාබි රටවල් විසින් ඊශ්‍රායලය ආර්ථික පීඩනයකට ලක් කරනු ඇතැයි ද, යුරෝපය හා අමෙරිකාව ඇතුළු ඊශ්‍රායල හිතවාදී රටවලට සම්බාධක පැනවීමට පියවර ගනු ඇතැයි ද ඇය අනාවැකි පළ කර තිබේ.

තවදුරටත් ඊශ්‍රායලය වෙතින් තර්ජන එල්ල නොවීම සහතික කිරීමට සියලු අරාබි රටවල් අමෙරිකාව මත දැඩි පීඩනයක් එල්ල කරනු ඇතැයි ද සනම් වකීල් වැඩිදුරටත් සඳහන් කර තිබේ. එපමණක් නොව දෝහා ප්‍රහාරයට එරෙහි සාමූහික ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායලය රාජ්‍යතාන්ත්‍රිකව හුදෙකලා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කරනු ඇතැයි ද ඇය අනාවැකි පළ කර තිබේ. කටාර් රාජ්‍යයේ සමීපතම මිතුරු රටවල් වන පාකිස්තානය, ඇල්ජීරියාව සහ තවත් රටවල් කිහිපයක ඉල්ලීම මත ප්‍රහාරය සම්බන්ධව ප්‍රතිචාර දැක්වීමට ඊයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය රැස්වීමට නියමිතව තිබූ අතර, එහිදී ඊශ්‍රායලයේ ප්‍රහාරය පිළිබඳ රටවල් රැසක් සිය ස්ථාවරය ප්‍රකාශ කරනු ඇත.

මෙතෙක් ඊශ්‍රායලය රටක් ලෙස පිළිනොගන්නා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් රැසක් දෝහා ප්‍රහාරය දැඩි ලෙස හෙළාදැක ඇති අතර, ජාත්‍යන්තර වශයෙන් ඊශ්‍රායලයට එරෙහිව ක්‍රියාත්මක කරන ඕනෑම තීරණයකට එකඟතාව පළ කර ඇත. මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 28ක් ඊශ්‍රායලය රාජ්‍යයක් ලෙස පිළිගෙන නොමැත. එම රටවල් අතරින් 15ක් මුස්ලිම් රටවල් වන අතර, කියුබාව, උතුරු කොරියාව සහ වෙනිසියුලාව ද ඊශ්‍රායලය පිළිගැනීමට මෙතෙක් සූදානම් නැත. ඊශ්‍රායලය පිළිනොගත් අරාබි ලීගයේ රටවල් අතරට ඇල්ජීරියාව, ඉරාකය, කුවේට්, ඕමානය, කටාර්, සවුදි අරාබිය, සිරියාව හා යේමනය වැනි රටවල් ද ඇතුළත් වන අතර, අරාබි ලීගයේ රටවල් නොවන ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ඉරානය, මැලේසියාව, මාලදිවයින, බෲනායි සහ පාකිස්තානය වැනි රටවල් ද ඊශ්‍රායලය රටක් ලෙස මෙතෙක් පිළිගෙන නැත.

අමෙරිකාවේ සහයෝගය ඇතිව දශක ගණනාවක් පුරා පලස්තීනයට අයත් භූමි අත්පත් කරගනිමින් සිය වපසරිය පුළුල් කරගැනීමට සමත්වී සිටින ඊශ්‍රායලය දෝහා ප්‍රහාරයෙන් අරාබි ලෝකයට කළ තර්ජනය ඉදිරියේදී අරාබි රටවල් ගන්නා තීරණ මත ඊශ්‍රායලයටම අභියෝගයක් වනු ඇතැයි වාර්තා පළ වී තිබේ.

කටාර් දේශය හමාස් නායකයන්ගේ පාරාදීසයක් බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු චෝදනා කිරීම මැදපෙරදිග කලාපයේ සෙසු රටවල කෝපය ඇවිස්සීමට හේතුවකි.

‘ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන කටාර්වලටයි අනිත් රටවලටයි මම කියන්නේ, ඔබලා එක්කෝ ඔවුන් පිටුවහල් කරන්න නැත්නම් නීතිය හමුවට ගෙන එන්න. මොකද ඔබලා ඒක නොකළොත් අපි කරනවා. ‘නෙතන්යාහු කළ අනතුරු ඇඟවීම මැදපෙරදිග කලාපයේ යුද උණුසුමක අවදානම ඉහළ දමා තිබේ. නීතිය හමුවට ඉදිරිපත් කළ යුත්තේ නෙතන්යාහු බවට කටාර් අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඊට ප්‍රතිචාර වශයෙනි. ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අවශ්‍ය පුද්ගලයා ඔහු පමණක් බවද කටාර් අගැමැතිවරයා සඳහන් කර තිබේ.

පසුගිය වසරේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණය නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරනු ලැබුවේ ගාසා තීරයේ සිදුවූ යුද අපරාධවලට ඔවුන් වගකිව යුතු බවට සාධාරණ හේතු මත විශ්වාස කරන බව සඳහන් කරමිනි. එහෙත් එම චෝදනා දෙදෙනාම ප්‍රතික්ෂේප කර තිබේ.

දෝහා නගරයට පහරදීමෙන් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ බලාපොරොත්තුව ද ඊශ්‍රායලය විනාශ කර දැමූ බව කටාර් අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. දෝහා ප්‍රහාරයට පැය කිහිපයකට පෙර අගමැතිවරයා ප්‍රාණ ඇපකරුවකුගේ පවුලේ සාමාජිකයන් මුණගැසී ඇති අතර, සිය පවුලේ සාමාජිකයා මුදාගැනීමට අන් විකල්පයක් නැති බැවින් සටන් විරාමයක් ප්‍රකාශයට පත්වනතුරු දින ගණන් කරමින් බලා සිටින්නේ යැයි ඔවුන් ප්‍රකාශ කළ බව කටාර් අගමැතිවරයා සඳහන් කර තිබේ. කෙසේ වෙතත් මේ දක්වා දෝහා ප්‍රහාරය සම්බන්ධව දෙපාර්ශ්වය අතර ප්‍රතිචාරය වාචික වශයෙන් හෙළා දැකීමට සහ ප්‍රකාශ නිකුත් කිරීමට පමණක් සීමා වී ඇති බැවින් මැදපෙරදිග යුදමය තත්ත්වයක් නිර්මාණය වීම වළක්වා ගැනීමට තවදුරටත් කාලය ඉතිරිව තිබේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *