Latestදේශීය

රමිත රඹුක්වැල්ලට අධි චෝදනා

නීති විරෝධී ලෙස රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් හිටපු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු වන රමිත් රඹුක්වැල්ල මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනුකර නඩු පවරා තිබේ.

2022 ජනවාරි 1වැනිදා හා 2023 නොවැම්බර් 14 වැනිදා කාලය අතරතුරදී එනම් වසරකුත් මාස 11ක කාලයක් තුළදී රුපියල් විසිනම කෝටි හැටපන් ලක්ෂයකට අධික මුදලක් වටිනා දේපළ උපයාගෙන ඇති බවත් ඉන් රුපියල් විසිහත්කෝටි පනස්තුන් ලක්ෂ දෙදහස් හයසිය දහසයයි ශත 06ක් (රු. 275,302,616.06) වටිනා වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමෙන් දූෂණ විරෝධි පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බවත් එමගින් චෝදනා නඟා තිබේ. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබූ විත්තිකාර රමිත් රඹුක්වැල්ල එලෙස නීති විරෝධි ලෙස උපයාගත් වත්කම් අතරට කොළඹ 7 ධර්මපාල මාවතේ පිහිටි කැපිටල් රෙසිඩන්ස් සුඛෝපභෝගි නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි අටක් සහ රුපියල් හය කෝටි පනස් ලක්ෂයක වටිනාකමින් යුත් නිවාස දෙකක්, විත්තිකරුගේ බිරිඳට අයත් බැංකු ගිණුම් හතරක්, විත්තිකරුගේ නමින් පවත්වාගෙන යන ගිණුම් හතරක් සහ රුපියල් එක්කෝටි අසූ ලක්ෂයකට අධික වටිනාකමින් යුත් ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක් ඇතුළු දේපළ අයත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගොනු කළ එම චෝදනා පත්‍රයේ සඳහන් වේ.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *