Latestදේශීය

සාම්පල් 20න් 17කම අයිස්

මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී සොයාගත් රසායන ද්‍රව්‍ය සාම්පල් විස්සෙන් දහහතකම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා මෙටම්ෆෙටමේන් අඩංගු බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් තහවුරු කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් එම මණ්ඩලය විසින් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙත ඉකුත් සිකුරාදා (12දා) භාරදී තිබේ.

කෙහෙල්බද්දර පද්මේ සහ පානදුරේ කුඩු නිලංග ඇතුළු සංවිධානාත්මක පාතාල කණ්ඩායම විසින් ඉරානයේ සිට ආනයනය කරන ලද බව කියන මෙම රසායන ද්‍රව්‍ය යොදාගෙන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට සැලසුම් කරගෙන සිටි බව පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය විය. මෙම රසායන ද්‍රව්‍ය මිද්දෙණිය, තංගල්ල සහ කඳාන ප්‍රදේශවලින් බැහැර කර තිබියදී පොලිසිය විසින් ඉකුත්දා සොයා ගන්නා ලදී.

තංගල්ල නෙටොල්පිටියේ සහ කඳාන දුම්රියපළ පාරේ නිවසක තිබියදී සොයාගත් රසායන ද්‍රව්‍ය තවදුරටත් පරීක්ෂා කරන බවත් එහි වාර්තා ද ළඟදීම දීමට කටයුතු කරන බවත් අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය නිවේදනය කර ඇත.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරන බැකෝ සමන් නමැති පාතාල සාමාජිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම අයිස් නිෂ්පාදන කර්මාන්තශාලා දෙක සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය විය.

@දිවයින

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරමින් සිට ඇත්තේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි නමැත්තා බවද පොලිසිය හෙළි කරගෙන තිබේ. මේ වන විට සම්පත් මනම්පේරි අතුරුදන්ව සිටින අතර ඔහුගේ සොහොයුරා පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

පොලිසිය සිදු කළ විමර්ශනවලදී අයිස් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා මෙම රසායන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50,000කට අධික ප්‍රමාණයක් කන්ටේනර් දෙකක පටවා ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බව අනාවරණය විය.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ එහි ස්ථානාධිපති ලින්ටන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදුකෙරේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *