දිවිපිදූ ශිෂ්‍යයින් සහ තරුණයින් සිහිකර අද නේපාලයේ නිවාඩු දිනයක්
නේපාල ශිෂ්‍ය විරෝධතාව අතරතුර ජීවිතක්ෂයට පත්වූ සියලු තරුණයන් මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ විරුවන් ලෙස පිළිගැනීමට අගමැතිනිය සුෂිලා කාර්කිගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැති අන්තර්වාර රජයේ පළමු කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිවි පිදූ තරුණයන් සිහිපත් කිරීම සඳහා අද (17) නේපාලයේ මහජන නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද එහිදී තීරණය වී තිබේ. එමෙන්ම දෙදිනක් පුරා පැවැති විරෝධතාව අතරතුර සිදුවූ ප්‍රචණ්ඩකාරි ක්‍රියා සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කිරීමට ද පළමු කැබිනට් රැස්වීමේදී තීරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. නේපාලයේ හිටපු අගමැති කේ.පී.ෂර්මා ඔලිගේ පාලන කාලය තුළ අනුමත කරනු ලැබූ සියලු යෝජනා අවලංගු කිරීමට ද මෙහිදී කැබිනට් මණ්ඩලය ඒකමතිකව සම්මත කරගත් බව වාර්තා වේ.
කෙසේ වුවද අන්තර්වාර කැබිනට් මණ්ඩලයට නව ඇමැතිවරු තිදෙනකු පත් කිරීමේදී තරුණයන්ගේ අදහස් විමසීමක් සිදු නොකළ බවට චෝදනා කරමින් තරුණ අරගලයේදී සංවිධානගත වූ ‘ඉසෙඩ් පරපුර‘ සමඟ ඒකාබද්ධව කටයුතු කළ එරට ‘හමි නේපාල්‘ නමින් හඳුන්වනු ලබන තරුණ කණ්ඩායමේ නායක 36 හැවිරිදි සුදාන් ගුරුන්ග් විසින් අගමැතිනියට එරෙහිව පසුගියදා අගමැති නිල නිවෙස ඉදිරිපිට විරෝධතාවක නිරතවී ඇති අතර, තරුණයන්ගේ අදහස් විමසීමකින් තොරව ඇමැතිවරු පත් කිරීම සම්බන්ධයෙන් අන්තර්වාර අගමැති සුෂිලා කාර්කිට වහාම ධුරයෙන් ඉවත්වන ලෙස බලපෑම් කළ බව වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

