ඊශ්‍රායලයට ක්‍රීඩාව තහනම් කරන්න – ස්පාඤ්ඤ අගමැති කියයි
යුක්රේන යුද ගැටුම් මුල් කරමින් රුසියාව තහනම් කළ ආකාරයට ගාසා තීරය ආක්‍රමණය කිරීම හේතුවෙන් ඊශ්‍රායලයට ද ක්‍රීඩාව තහනම් කරන ලෙස ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝ සැන්චෙස් ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වලින් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරයේ සිදු කරන ජනසංහාරය හේතුවෙන් ඊශ්‍රායලය ජාත්‍යන්තර ක්‍රීඩාවට සහභාගි වීමට සුදුසු රාජ්‍යයක් නොවන බව ද ස්පාඤ්ඤ අගමැතිවරයා සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඊශ්‍රායලය දිගින් දිගටම ජාත්‍යන්තර තරගවලට සහභාගි වීම සදාචාරාත්මකදැයි ලෝක ක්‍රීඩා සංගම්වලින් විමසා සිටි ස්පාඤ්ඤ අගමැතිවරයා, යුක්රේනය ආක්‍රමණය කළ බව කියමින් ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් රුසියාව නෙරපා හැරීමට පියවර ගත් ලෝක ක්‍රීඩා සංගම් ගාසා තීරය ආක්‍රමණය කළ ඊශ්‍රාලය ක්‍රීඩාවෙන් නෙරපා නොදැමීම සම්බන්ධව විමතිය පළ කළ බව ද වාර්තා වේ.
ම්ලේච්ඡත්වය අවසන් කරනතුරු රුසියාව මෙන්ම ඊශ්‍රායලය ද කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගි නොවිය යුතු බවට අවධාරණය කරමින් ස්පාඤ්ඤ අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් දෙබිඩි පිළිවෙතකින් යුතුව කටයුතු කරන බවය.
@දිනමිණ