සම්පත් මනම්පේරි රදවා තබාගෙන ප්‍රශ්ණ කරයි
මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බව සඳහන් සුදු පැහැති කැට විශේෂය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය සඳහා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සම්පත් මනම්පේරි නමැත්තා ඊයේ (17) පස්වරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් පසු දින 07ක කාලයක් සඳහා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා වලස්මුල්ල මහේස්ත්‍රාත් කෝකු හැන්නදිගේ නවෝදා මහත්මිය පොලීසියට අවසර ලබා දී තිබේ.
මිද්දෙණිය තෝරකොළයාය ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී පසුගිය 05 වැනි දින මෙම ද්‍රව්‍ය සොයාගනු ලැබුවේ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසිනි. ඒ එම කොට්ඨාසය භාරයේ සිටින ‘බැකෝ සමන්’ නමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරකට අනුවය.
‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තකු විසින් මෙම ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවට ඔහු ප්‍රකාශ කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදු පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයකු හා පසුගිය පළාත් පාලන මැතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකයෙක් වූ ඔහුගේ සහෝදරයා මෙම රසායනික ද්‍රව්‍ය සඟවා තබාගෙන සිටි බවයි.
ඒ අනුව විමර්ශන නිලධාරීන් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. මෙම සිද්ධියේ සැකකරුවකු වන සම්පත් මනම්පේරි නමැත්තා ද පොලීසිය මඟහැර සැඟවී සිටියේය. එලෙස සැඟව සිටි සම්පත් මනම්පේරි නමැත්තා නීතිඥයකු මාර්ගයෙන් පසුගිය 15 වැනි දින අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
සම්පත් මනම්පේරි නමැත්තා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානම් බවත්, එසේ භාර වීමෙන් පසු සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසය.
ඒ අනුව කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් සැකකරුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට විමර්ශන නිලධාරීන්ට නියෝගයක් නිකුත් කෙරුණි. එම නියෝගය නිකුත් කර දින දෙකකට පසු ඊයේ (17) නීතිඥයකු මාර්ගයෙන් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට මෝෂන් පත්‍රයක් ඉදිරිපත් කර සැකකරු පස්වරු 03.00ට පමණ භාර වීය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් වන අවස්ථාවේ අධිකරණය අවට විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබුණි. අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු වෙනුවෙන් නීතිඥ ඒ.එම්.ඒ.ඒ. ලක්මාල් රත්නායක, නීතිඥ තිළිනි වික්‍රමසිංහ දෙපළ ඇතුළු නීතිඥවරුන් කිහිප දෙනෙක්ම අධිකරණය හමුවේ පෙනීසිට කරුණු ඉදිරිපත් කළහ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය නිලධාරීන් විසින් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් කළ අතර සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව කරුණු සලකා බැලූ වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා සැකකාර සම්පත් මනම්පේරි නමැත්තා දින 07ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට අවසර ලබා දුන්නේය.
අධිකරණයට භාරවූ සම්පත් මනම්පේරි නමැත්තා කලක් පොලිස් කොස්තාපල්වරයකු ලෙසත්, කෙටි කාලයක් බුද්ධි අංශ නිලධාරියකු ලෙස ද කටයුතු කර ඇති බව වාර්තා වෙයි. සැකකරුගේ සහෝදරයා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන පියල් මනම්පේරි නමැත්තා ද මෙම සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබුණේ, මෙම ද්‍රව්‍ය ජනවාරි මස 29 වැනි දා කොළඹ සිට කන්ටේනර් දෙකක අසුරා රැගෙනවිත් කලුවගහයාය පාර, තලාව, කාරියමඩිත්ත ප්‍රදේශයේ මාර්ගය අයිනේ ගබඩාකර තිබී පසුව අගෝස්තු මස 31 වැනි දින ගෙවත්තකට රැගෙනවිත් වළ දමා ඇති බවයි. කිලෝ 500ක බරින් යුතු කවර 22ක් මෙලෙස වළ දැමූ බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ජේසීබී යන්ත්‍රයේ ක්‍රියාකරු පොලීසියට පවසා තිබුණි.
@දිනමිණ