රෝහිත අබේගුණවර්ධනගෙන් ප්‍රශ්ණ කර අධිකරණයට වාර්තා කරන්න
හිටපු වරාය ඇමති රෝහිත අබේගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ගෙන සති දෙකකක් තුළ අධිකරණයට වාර්තා කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අද (18) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කර තිබේ.
මෙම නියෝගය ලබා දී ඇත්තේ, හම්බන්තොට මාගම්පුර වරායේ කඩා ඉවත්කල කළුගල් ඉවත්කිරීම ටෙන්ඩර් කිරීමකින් තොරව ලබාදෙන බව පවසා රුපියල් මිලියන 20ක මුදලක් ලබාගෙන, එම ටෙන්ඩරය ලබානොදී වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාගවන නඩුවකට අදාළවය.
2021 වසරේ ජනවාරි මස 5වනදා හෝ ඊට ආසන්න දිනයකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකු විසින් තමන්ව හම්බන්තොට මාගම්පුර වරායට රැගෙන ගොස් අදාළ කළුගල් තොගය පෙන්වා මිල ගණන් සාකච්ඡා කළ බව පැමිණිකරු පවසා තිබේ.
එහිදී අත්තිකාරමක් ලෙස තමන්ගෙන් රුපියල් මිලියන 20ක මුදල ලබා ගත් බව හුංගම බටඅත දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව විභාගය පැවැත්වේ.
අදාළ පැමිණිල්ලට අනුව රුපියල් මිලියන 20ක අත්කාරම් මුදල් ලබාගැනීමෙන් පසු පැවති රජය වෙනස්වීම නිසාවෙන් එම කළුගල් ටෙන්ඩරය ලබාදීමට නොහැකි වී ඇත.
ඒ හේතුවෙන් ලබාගත් එම අත්තිකාරම් මුදල නැවත චෙක්පතකින් ලබාදීමට කටයුතු කලත්, එම චෙක්පත මුදල් නොමැති ගිණුමකින් ලබා දී ඇති බැවින් චෙක්පත අගරු වූ බව පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
එම පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයකු ලෙසින් පෙනීසිටි තලංගම හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
මේ වනවිට ඔහු ඇපමත මුදා හැර සිටියි.
කෙසේ වුවද වසර කිහිපයක් පුරා මෙම නඩුව විභාග වන නමුදු සිද්ධියට සම්බන්ධ මුල් පැමිණිල්ලේ සඳහන් අනෙක් තැනැත්තන්ගෙන් කිසිදු ප්‍රකාශයක් ලබාගෙන නොමැත.
ඒ හේතුවෙන් මුල් පැමිණිල්ලේ නම සඳහන්ව ඇති හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ගෙන සති දෙකක් තුළ අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත් නියෝග කර ඇත.
@Lanka Truth