රියදුරා පැය 30ක් විවේකයෙන් තොරව රිය පදවලා – බිමල් රත්නායක
ඇල්ල ප්‍රදේශයේදී පසුගිය දිනක සිදුවූ බිහිසුණු අනතුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අදාළ වාර්තාව තුළින් අනතුර පිළිබඳ කරුණු රැසක් අනාවරණය වූ බවත් එම බස්රථයේ රියැදුරු විවේකයකින් තොරව පැය 30කට අධික කාලයක් ධාවනයේ නිරතව ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය. බස් රථයේ තිරිංග හා නඩත්තුවේද ගැටලු ගණනාවක් තිබී ඇති අතර එම වාර්තාවට අනුව බස්රථ රියැදුරු අධික වෙහෙසකින් ධාවන කටයුතු සිදුකර ඇති බවත් හෙතෙම පැවැසීය.
මෙම විමර්ශනයට අදාළ වාර්තාව මේ වනවිට වෙබ් අඩවියට ඇතුළත් කර ඇති අතර ඕනෑම අයකුට එම වාර්තාව පරිශීලනය කළ හැකි බව ද ඇමැතිවරයා පැවැසීය.
සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, පොදු මගී ප්‍රවාහන සේවයේ නිරත සියලුම රියැදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර අදාළ රියැදුරු බලපත්‍රය නිසි පරිදි ලබාගත යුතු බවයි. මීට සමගාමීව පාසල් වෑන් රථ, කාර්යාල වාහන සහ බස්රථ පරික්ෂා කරන ලෙසට රථවාහන පරීක්ෂකයන්ට දැනුම් දෙන බව ද අමාත්‍යවරයා පැවැසීය.
එමෙන්ම සියලුම දුම්රිය ස්ථාන විශේෂ අවශ්‍යතා ඇති පුරවැසියන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථාන බවට පත්කරන බව ද අමාත්‍යවරයා පැවැසීය. මේ සම්බන්ධයෙන් වන තීන්දුවක් අධිකරණය විසින්ද ලබා දී ඇති බවත් ඇමැතිවරයා පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙසේද පැවැසීය.
“පොදු මගී ප්‍රවාහනයේ නියැළී සිටින සියලුම රියදුරන් දෙසැම්බර් 31 වැනි දිනට පෙර අදාළ පොදු ප්‍රවාහන රියදුරු බලපත්‍රය නිසි ලෙස ලබා ගන්නා ලෙස අපි ඉල්ලා සිටිනවා. මේ සඳහා අවශ්‍ය පහසුකම් සපයනවා. ඒ වගේම රථවාහන පරීක්ෂකයන්ට, නියාමකයන්ට අපි දැනුම් දී තිබෙනවා, මීට සමගාමීව පාසල් වාහන, කාර්යාල වාහන සහ බස් රථ පරීක්ෂා කරන ලෙස දැන්වූවා. ඇල්ල ප්‍රදේශයේ දී සිදුවූ අනතුරට අදාළව සිදු වූ බරපතළ බස් අනතුර පිළිබඳ විමර්ශන වාර්තාව මේ වනවිට නිකුත් කර තිබෙනවා. ඒ වගේම මෙම වාර්තාව වෙබ් අඩවියටත් ඇතුළු කර තිබෙනවා. ඕනෑම කෙනකුට එය පරීක්ෂා කළ හැකියි. මෙම විමර්ශන වාර්තාවෙන් බොහෝ දේ හෙළිදරව් වී තිබෙනවා. එබැවින් වාහන අනතුරු පාලනය කිරීම සඳහා අපි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. එම වාර්තාවට අනුව එම රියැදුරු මහතා අධික වෙහෙසකින් ලොකු කාල වේලාවක් රිය ධාවනය කර තිබෙනවා. ඒ වගේම බස්රථයේ තිරිංග සම්බන්ධයෙන් බරපතළ ගැටලු තිබී තිබෙනවා. ඒ වගේම වාහනවල සහ රියැදුරන්ගේ ප්‍රශ්න තිබෙනවා. වාහනවලට මොන ලයිසන් තිබුණත් වාහනය පාරට දාන්න කලින් පාරේ ධාවනය කරන්න පුළුවන්ද යන්න පරික්ෂා කළ යුතුයි.
විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල මාර්ගවල ආරක්ෂිත වැටවල් සවි කිරීම සඳහා අපි රුපියල් මිලියන දහසක් වෙන් කර තිබෙනවා.
ඒ වගේම දැනට දුම් පරීක්ෂණ තුළින් වාහනයේ රනින් කන්ඩිෂන් එක පරීක්ෂා කරනවා. ඒ නිසා මේකෙදි ඇත්ත තත්ත්වය එන්නේ නැහැ. පසුගිය කාලය තුළ යම් යම් තීරණ අරන් තිබෙනවා. කොහොමත් මේක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් පසුවයි පත් කරන්නේ. වාහනවල එමිෂන් පරික්ෂා කිරීම වෙනුවෙන් යන්ත්‍රණයක් සකස් කරන ලෙසට තීන්දුව ලබා දී තිබෙන්නේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින්. හුදු පනතකින් පමණක් තිබෙන දෙයක් නෙවෙයි. මේ සමඟ බැඳුණු ගැටලු ගණනාවක් තිබෙනවා. ඇල්ලෙදී අනතුරට පත්වූ බස්රථය ගත්තත් එය මිල දී ගැනීමට ලක්ෂ 55ක් වියදම් කර තිබෙනවා. සැරසිලිවලට ඊටත් වඩා විශාල මුදලක් වැයකර තිබෙනවා. ඒ වගේම රියදුරු පැය 30ක් විතර ධාවනයේ යෙදී තිබෙනවා. ඒ වගේම කඳුකර ප්‍රදේශවල මාර්ග වෙනුවෙන් රුපියල් මිලියන 1000ක් වෙන් කර තිබෙනවා. මේ අනතුර නිසා වෙන් කළා නෙවෙයි. කලින් වෙන් කරන ලද මුදලක්. වංගුවල අවශ්‍ය කටයුතු වෙනුවෙන්, ඒ වගේම කඳුකර ප්‍රදේශවල තවත් අලුත් වැඩක් පටන් ගත්තා. තවත් ටිකක් පරිස්සමෙන් කියලා. නමුත් ඔබතුමා දන්නවා, මේක සංස්කෘතියක් බවට පත්විය යුතුයි. රියැදුරන්, මගීන් මෙන්ම පදිකයන් යන තුන්ගොල්ලම එකතුව.
ඒ වගේම මෑතකදී අධිකරණ තීන්දුවක් දුන්නා, සියලුම දුම්රිය ස්ථාන විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ප්‍රවේශ විය හැකි ස්ථාන බවට පත්කරන ලෙස. මේ සම්බන්ධයෙන් අපගේ ප්‍රතිපත්තිය අපි අධිකරණයට දන්වා තිබෙනවා. ඒ අනුව, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට දුම්රිය ස්ථාන සහ පොදු ස්ථානවලට ගමන් කිරීමට හැකි පරිදි අපි කටයුතු කර තිබෙනවා. දුම්රිය ස්ථානවල හා පොදු ස්ථානවලදී ආබාධිත අයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථාන ලෙසට.
තවද, වාහන විමෝචන පරීක්ෂණවලදී, රජයේ වාහන පෞද්ගලික වාහනවලින් වෙන් වෙන්ව ගණන් නොගන්නා අතර, සාමාන්‍යයෙන් වාහන සංඛ්‍යාව පමණක් සඳහන් වේ. 2024දී හමුදා වාහන 4565ක් විමෝචනය සඳහා පරීක්ෂා කර ඇත.”
@දිනමිණ