Latestදේශීය

එක්ස්ප්‍රස් පර්ල්ට ගන්නා නීති පියවර

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් නඩුවලදී ගෙවන ලෙස නියම කළ වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම නෞකාවේ විදේශීය සමාගමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලා ලබන ජනවාරි මස 26 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.

වන්දි ගෙවීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව ඊයේ (25දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

මෙහිදී අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට සම්බන්ධ විදේශීය සමාගමක් වන එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය පෙරකලාසිය ඉවත් කරගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේය. එම සමාගම වෙනුවෙන් නීතිඥ නියෝජනයක් අධිකරණය හමුවේ ඉදිරිපත් වූයේ නොමැත.

අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා කරුණු දක්වමින් අදාළ නෞකා අනතුරින් සිදුවූ පාරිසරික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් වසරක් තුළ ගෙවන ලෙස නෞකාවේ විදේශීය සමාගම වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා නියෝග කළ බව පැවසීය.

එම වන්දි මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක් සැප්තැම්බර් මස 23 වැනිදා හෝ ඊට පෙර ගෙවිය යුතු බවට නියෝග කර තිබුණත් එම මුදල් මෙතෙක් ගෙවා නොමැති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

මේ තුළින් අදාළ සමාගම අධිකරණයට අපහාසයක් සිදු කර තිබෙන බවත් පැමිණිල්ලක් නොමැතිව වුවද සමාගමට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කිරීමට හැකියාව තිබෙන බවත් පෙන්වා දුන් නීතිඥවරයා එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව සුදුසු නඩු විභාගයක් පවත්වා දඬුවම් පැමිණි විය යුතු බව ඉල්ලා සිටියේය.

ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න මෙනෙවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබූ වන්දි මුදල් ගෙවීම පැහැරහැරීම තුළින් වගඋත්තරකාර සමාගම අධිකරණයට අපහාසයක් කර ඇති බව පෙන්වා දුන්නාය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි සෙසු නීතිඥවරු ද මෙම කරුණුවලට එකඟතාව පළ කළහ.

ඉන් අනතුරුව අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ වන්දි මුදලින් රුපියල් මිලියන 300ක් ගෙවා තිබෙන බව සඳහන් කළේය.

තම සමාගමට ගෙවිය හැකි මුදල එපමණක් බවත් ඊට වඩා වැඩි මුදලක් ගෙවීමට ඔවුන්ට මූල්‍ය හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *