Latestදේශීය

අනුර ජපන් අගමැති හමුවෙයි

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ජපාන අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී අද (29) පෙරවරුවේ පැවැත්විණි. 

ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ජපාන අග්‍රමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා වෙනුවෙන් ජපාන ස්වයං ආරක්ෂක බලකායේ උත්තමාචාරද පිළිගැන්විණි. එම පෙළපාළිය නිරීක්ෂණය සඳහාද ජනාධිපතිවරයා එක් විය.

දෙරටේ නියෝජිත පිරිස හඳුන්වා දීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන අග්‍රමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා අතර නිල සාකච්ඡා ආරම්භ කෙරිණි.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතීන දීර්ඝකාලීන සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර වෙළෙඳ, ආයෝජන, ආර්ථික, සංවර්ධන ආධාර සහ කලාපීය ආරක්ෂාව ආදී කරුණු ආවරණය කෙරෙන පරිදි විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව එහිදී අවධානය යොමු කර තිබේ.

දෙපාර්ශ්වය අතර සංවර්ධන සහාය (Official Development Assistance) තවදුරටත් පිළිබිඹු කරමින් කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය (Project for the Enhancement of Productivity in the Dairy Sector) සහ නිල ආරක්ෂක ආධාර ලබා දීමේ වැඩසටහන (Official Security Assistance- OSA) පිළිබඳ හුවමාරු පත්‍ර අත්සන් තැබීමද මෙහිදී සිදු කර ඇත.

ඉන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා  සඳහන් කළේ ඉන්දියානු සාගරයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනය ඉතා තීරණාත්මක බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවත්ය.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය, අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ ශක්තිමත් පුද්ගල සබඳතා මත පදනම් වී තිබෙන බවයි. ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා ශ්‍රී ලංකා-ජපාන සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත්, එම එකඟතාවල සැබෑ ප්‍රතිලාභ අත් කර ගනිමින් සංවර්ධනය සහ ස්ථාවරත්වය වෙනුවෙන් යන ගමනේදී ජපානය සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජපාන රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ නැවතුණු සංවර්ධන ව්‍යාපෘති 11ක් නැවත ආරම්භ කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීම වෙනුවෙන් ජපන් රජය දැක් වූ සහාය මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට ලබා දුන් දායකත්වය වෙනුවෙන්ද ජපාන රජය වෙත ස්තූතිය පළ කිරීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා අතර පැවති නිල සාකච්ඡාවලින් පසු දෙපාර්ශ්වය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක්ද මාධ්‍ය වෙත නිකුත් කෙරිණි. (Joint Statement) 

මින් අනතුරුව ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස වෙත පිරිනමන ලද භෝජන සංග්‍රහයටද ජනාධිපතිවරයා ඇතුළු පිරිස සහභාගී විය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *