අමල් සිල්වා අත්අඩංගුවට
නීති විරෝධීව මෙරටට වාහන ආනයනය කර කූට ලේඛන මඟින් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වන අමල් සිල්වා පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මඟින් ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කළ විමර්ශනයකින් පසු මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර, අමල් සිල්වා මහතා බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ද වෙයි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදාත්, මේ වසරේ ජනවාරි මස 01 වැනිදාත් කළ වැටලීම්වලින් අමල් සිල්වා භාරයේ තිබී රුපියල් කෝටි 06කට අධික වටිනාකමක් ඇති ලෑන්ඩ් රෝවර් සහ මිට්සුබිෂී වර්ගයේ ජීප් රථ 03ක් සොයා ගන්නා ලදි.
ඒ එක් ජීප් රථයක් විදේශ රටවල යුද හමුදාව භාවිත කරන වර්ගයේ එකක් බවත්, එම රථය රුපියල් කෝටි 02ක් පමණ වටිනා බවත් අනාවරණය වූ බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කළේය. සෙසු වාහන දෙක රුපියල් කෝටි 04ක් පමණ වටිනා ජීප් රථ දෙකක් බව ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.
රාජ්‍ය ආයතනවල ගර්භිත කරන ලද වාහනවල ලියාපදිංචි අංක යටතේ කූට ලේඛන සකස් කර මේ වාහනවලට එම අංක යොදා භාවිත කරන බව මේ රථ සම්බන්ධයෙන් විමර්ශන කිරීමේදී අනාවරණය වූ බව ද මධ්‍යම දූෂණ මර්දන බළකාය සඳහන් කරයි.
විදේශ හමුදාව භාවිත කරන වර්ගයේ ලෑන්ඩ්රෝවර් ජීප් රථය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් භාවිත කරන රථයක් බවට ව්‍යාජ ලෙස හඟවමින් භාවිත කර ඇති බවත්, මේ රථය ශ්‍රී ලංකා රේගුව හරහා මෙරටට නීත්‍යනුකූලව ආනයනය කර නොමැති රථයක් බවත් රේගුව විසින් තහවුරු කර ඇති බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පැවසීය.

එවන් ජීප් රථයක් සමාජ සේවා දෙපාර්තමේන්තුව දකුණු පළාත නමින් ලියාපදිංචි කර තිබී ඇත. ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, එම රථයේ ලියාපදිංචිය කලකට පෙර අවලංගු කර හික්කඩුව සහතික කළ මෝටර් කාර්මික පාසලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා භාර දී ඇති බවට අනාවරණය වී ඇත.
මෙහි ඇති තවත් එක් වාහනයක් මෝටර් රථ පරීක්ෂක මඟින් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එය මාර්ගයේ ධාවනයට පවා නුසුදුසු එකක් බව යැයි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පවා ඉතා සූක්ෂ්ම ලෙස වෙනස් කරමින් මේ ජාවාරම සිදු කරගෙන ගොස් ඇතැයි විමර්ශනයේදී පෙනී ගොස් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ද කරුණු සොයා බලන බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කළේය.
සැකකාර අමල් සිල්වා අද (29) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ ඇති විශේෂ පොලිස් ඒකකයක් වන මෙහි අධ්යක්ෂ පොලිස් අධිකාරී කේ. ඒ. උදය කුමාර මහතාගේ මඟපෙන්වීමෙන්, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, පොලිස් පරීක්ෂක ටී. ඩී. එන්. එස්. සඳරුවන් සහ පොලිස් සැරයන් ජයලාල් (428) නිලධාරීන් විසින් මේ අත්අඩංගුවට ගැනීම සහ විමර්ශන කටයුතු සිදු කරන ලදි.
@දිනමිණ