Latestදේශීය

මහීපාලගේ බිරිද වැව් රක්ෂිතයේ ඉදිකර තිබුණු ගොඩනැගිලි කඩා දමයි

හිටපු උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සිය බලය අවභාවිත කරමින්, තම බිරිය වන අජන්තා රෑපසාරි හේරත් මහත්මියගේ නමින් පවත්වාගෙන ගිය හෝටලයක් සඳහා පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පර්චස් හැටක භූමි ප්‍රමාණයක නීතිවිරෝධීව ගොඩනැගිලි තනා තිබූ බව තහවුරු වී ඇත.

මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා අද දින සඳහන් කළේ, එම අනවසර ඉදිකිරීම් මේ වන විට කඩා ඉවත් කරගෙන ඇති බවයි.

පසුගිය සැප්තැම්බර් මස 18 වැනිදා, ප්‍රාදේශීය ලේකම් දිසානායක මහතා විසින් හිටපු ආණ්ඩුකාරවරයාගේ බිරියට ලිඛිතව දැනුම් දුන්නේ, එම ගොඩනැගිලි මාසයක් ඇතුළත කඩා ඉවත් කර ගන්නා ලෙසය.

ඊට ප්‍රතිචාර ලෙස, හිටපු ආණ්ඩුකාරවරයා රහසිගතව සේවක පිරිසක් යොදවා එම ඉදිකිරීම් විනාශ කර ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිත මායිම් නිවැරදිව සලකුණු කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිමය වැඩසටහනක් මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන එක්ව ක්‍රියාත්මක කරයි.

මේ යටතේ, රජයේ මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පෙරමියන්කුලම වැවේ මායිම් ගල් තැබීමට කටයුතු කළ අවස්ථාවේදී, ආණ්ඩුකාරවරයාගේ බිරිය වැව් රක්ෂිත සීමාව තුළ මෙම හෝටල් ගොඩනැගිලි ඉදිකර ඇති බව තහවුරු විය.

තවද, රක්ෂිතය තුළ තිබූ මෙම නීති විරෝධී ඉදිකිරීම් සඳහා විදුලි බල මණ්ඩලය විසින් විදුලිය ද සපයා තිබූ බව හෙළි විය.

මේ වන විට පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ සියලු මැනුම් හා මායිම් සලකුණු කිරීමේ කටයුතු අවසන් කර ඇත.

මායිම් සලකුණු කිරීමේදී, රජයේ නිල නිවාස, තවත් හෝටල් සහ ආගමික ස්ථානයක් ද වැව් රක්ෂිතය තුළ ඉදිකර ඇති බවට හඳුනාගෙන තිබේ. දිසානායක මහතා පැවසුවේ, ඒවා සම්බන්ධයෙන් කමිටුවට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු තීරණයක් ගන්නා බවයි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *