කජ්ජා මහින්දගේ අමාත්‍යංශ රියදුරෙක්
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සිදු වනවිට අනුර විදානගමගේ නොහොත් ‘කජ්ජා’ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ පැවති අමාත්‍යාංශයක රියැදුරෙකු ලෙස කටයුතු කරමින් සිට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇත.
තාජුඩීන් ඝාතනය සහ කජ්ජා අතර යම් සම්බන්ධයක් ඇති බවට ප්‍රබල සැක මතු වන තොරතුරු ද මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට ලැබී ඇති බව පසුගියදා පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකදීද අනාවරණය කරනු ලැබීය.
තාජුඩීන් ඝාතනය වූ දිනත්, ඊට පෙර සහ පසු දිනත් කජ්ජා රැඳී සිටි ස්ථාන සහ ඔහු දුරකතනයෙන් සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයන් ආදී තොරතුරු ද මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයෝ රැස්කරමින් සිටිති. ඒ සඳහා දුරකතන ජාල විශ්ලේෂණයක් ද මේ වනවිට සිදු කරමින් ඇත්තේ කජ්ජා විසින් භාවිත කළ දුරකතන අංක ඔස්සේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දීර්ඝ ලෙස කරනු ලැබූ විමර්ශනයකදී අනාවරණය කර ගෙන තිබෙන්නේ, එදා තාජුඩීන් ඝාතනය වීමට පෙර ඔහු ගමන් ගත් මෝටර් රථය පසුපස හඹා ගිය ජීප් රථයේ අනුර විදානගමගේ නොහොත් කජ්ජා නමැත්තා ද සිට ඇති බවයි. තහවුරු කෙරෙන සාක්ෂිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට ලැබෙන්නේ කජ්ජාගේ බිරියගෙනි. ඒ වසර 10කට ආසන්න කාලයක් පුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ට හඳුනා ගැනීමට නොහැකිව තිබූ වීඩියෝ දර්ශනයක සිටි පුද්ගලයා හඳුනා ගනිමිනි. ඒ් හැව්ලොක් උද්‍යානයේ පිහිටි සුපිරි වෙළෙඳසලක ආරක්ෂක කැමරාවක සටහන්වූ අපැහැදිලි මිනිස් රුවකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එකල මේ අපැහැදිලි රුව සහිත වීඩියෝව මෙන්ම ඡායාරූප ද මාධ්‍යට නිකුත් කරමින් හඳුනා ගැනීමට මහජන සහාය ඉල්ලා සිටියේය. එහෙත් ඔහුගේ බිරිය මෑතකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ එම වීඩියෝවේ සිටින්නේ සිය සැමියා බව පවසනතුරු කිසිවකුත් එම වීඩියෝව හඳුනා ගැනීමට ඉදිරිපත් වී නොතිබුණි.
මුල සිට ඒ සම්බන්ධයෙන් සැකයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පැවතියත් එය තහවුරු වීමත් සමඟ තාජුඩීන් ඝාතන විමර්ශන වේගවත් වූ බව පොලිස් තොරතුරු සඳහන් කරයි.
@Lanka Truth