Latestදේශීයමතවාද

වන්නිනායක සිදුවීමේ මූළික පාඩම් දෙක

(වංගීස සුමනසේකර)

වන්නිනායක සිදුවීමේ එකිනෙක පරස්පර මූලික පාඩම් දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ දේවල් වෙනස් වී ඇති බවයි. බලය ඇති පුද්ගලයන්ට බලය පෙන්වා බලය නැති පුද්ගලයන් පීඩාවට පත්කිරීම දැන් එතරම් පහසු නොවේ. දේශපාලනයේ වැදගත්කම වන්නේ මෙයයි. තාක්ෂණයේ වර්ධනයන් හමුවේ මේ ආකාරයේ හැසිරීම් මෙයට පෙරද අප දැක තිබේ. නමුත් එවැනි අවස්ථාවන්වලදී ඒවා එසේ හැසිරෙන අයට ප්‍රශ්නයක් නොවූයේ ඔවුන් ආරක්ෂා කරන දේශපාලන ක්‍රමයක් තිබූ නිසාය.

අද ඔවුන්ට මෙවැනි දේ කිරීමට පෙර දෙවරක් සිතීමට සිදුව තිබේ. තවදුරටත් ඔවුන් ආරක්ෂා කරන දේශපාලන පන්තියක් නැත. එම පැරණි දේශපාලන පන්තියේ සිටින්නේ විසිරී ඔත්පලවයි.

නමුත් මෙහි දෙවැනි පාඩම වන්නේ එසේ වූ පමණින් මේ අයගේ බලය අහෝසි නොවන බවයි. නීතිඥයන් සහ පොලිස් නිලධාරීන් අතර සම්බන්ධය ගැන සාමාන්‍ය අවබෝධයක් තිබෙන කෙනෙකුට වුවත් පැහැදිලි වන්නේ පොලිසියේ බල ධූරාවලියේ පහලම සිටින නිලධාරියෙකු බලවත් නීතිඥයකුට උසාවි භූමියේදී ශාරීරිකව පහර දුන්නා කියා කීම එතරම් විශ්වසනීය වියහැකිභාවයක් නොවන බවයි. නමුත් එම අතිශය සැක කටයුතු චෝදනාව මත පදනම්ව එම නිලධාරියා දිනකට හෝ රක්ෂිත බන්ධනාගාරගත විය. අනෙක් අතට එලෙස බොරු චෝදනාවක් බව බැලූ බැල්මට සිතෙන චෝදනාව නගා අධිකරණ භූමියේ අසභ්‍ය වචනයෙන් බැන වදිමින් චණ්ඩි පාට් දැමූ නීතිඥයාට එවැන්නක් වන්නේ නැත. ඔහුට ඇප ලැබෙයි.

ආණ්ඩුව මාරු වූ පමණින් පැරණි බල ව්‍යුහයන් වෙනස් නොවන බව මේ මගින් පැහැදිලි වෙයි. මේවාට එරෙහිව ජනතා මතය පෙළ ගැසිය යුතු වන්නේ මේ නිසාය. ආණ්ඩුවට ශක්තිය ලැබෙන්නේ පසුගිය වසරේ මැතිවරණ තීන්දුවෙන් පමණක් නොවේ. ඒ සමගම පොදුජන මතය තිබෙන්නේ ආණ්ඩුව සමග කියාද පෙන්වීම වැදගත් වෙයි.

සමානාත්මතාවය වෙනුවෙන් වූ අරගලය යනු – අවම වශයෙන් මේ ලෝකයේදී – පරම ලෙස අවසන් වන්නක් නොවේ. එය අප නැවත නැවතත් ආරම්භ කළ යුතුය. නැවත නැවතත් සංවිධානය කළ යුතුය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *