Latestදේශීය

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය විවෘත වේ

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය අද (20) පෙරවරුවේ කොළඹ පිහිටි පොලිස් මූලස්ථානයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලේදී විවෘත විය.

ඒ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම නව විමර්ෂන කොට්ඨාසය ස්ථාපිත කෙරෙනුයේ 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විදි විධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සඳහාය.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ යම් කිසි අයෙකු නීති විරෝධීව යම් ආකාරයකින් මුදල් උපයා බොහෝ දේ අත්පත් කර ගැනීමට උත්සාහ දරන්නේ නම් මෙම පනත මගින් එය මැඩ පැවැත්වීමේ හැකියාව ලැබෙන බවය.

එමෙන්ම මෙම පනත හරහා සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමද යම් ආකාරයකට මැඩ පැවැත්වීමේ හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

“මේක සුවිශේෂී පනතක් හැටියට හඳුනා ගන්න පුළුවන්. මේ හරහා නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඉඩ ලැබෙනවා. ඊට අවශ්‍ය සියලුම බලතල ලබා දීලා තියෙනවා. දැන් මේ රටට පුළුවන් අලුත් පනත් නැතත් මේ පනත හරහා සංවිධානාත්මක අපරාධත්, මත්ද්‍රව්‍යත් යම් ප්‍රමාණයකින් මැඩ පවත්වන්න. අයෙක් නීති විරෝධී ආකාරයකින් මුදල් උපයලා ඔහු බොහෝ දේ අත්පත් කරගන්න උත්සාහ කරනවානම් ඒ උත්සාහයන් සියල්ල මේ පනත හරහා ව්‍යාර්ථ කරන්න හැකියාව ලැබෙනවා.”

එමෙන්ම මෙම අවස්ථාවට එක්වෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ මෙපමණ බලයක් ලැබුණු පනතක් මින් පෙර නීති පද්ධතිවල නොතිබූ බවත් මේ වන විට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලදාරීන්ට උපරිම බලය ලැබී ඇති බවත්ය.

ඒ අනුව සියලුම පොලිස් නිලධාරීන් මෙම බලය අවභාවිත නොකර මහජනතාවගේ යහපත මෙන්ම රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා ලැබී ඇති මෙම බලය ක්‍රියාත්මක කරන ලෙසත් පොලිස්පතිවරයා සියලු පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද සිදුකළේය.

එහිදී අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා,

“මෙච්චර බලයක් හම්බුණ පනතක් දැනට  නීති පද්ධතිවල නෑ. පොලිස් නිලධාරීන්ට උපරිම බලය තියෙනවා හැබැයි බලය අවභාවිත කරන්න එපා. මේ බලය මහජනතාවගේ යහපත වෙනුවෙන්, රටේ තියෙන නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා මේ බලය ක්‍රියාත්මක කරන්න.”

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *