Latestදේශීය

ගම්පහ බබා සහ නුගේගොඩ බබී රහස් එකින් එක වමාරයි

පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමේ මහ මොළකාරියක ලෙස ඉෂාරා සෙව්වන්දි කටයුතු කර ඇත්තේ ඇය යුරෝපයේ රටකට යැවීමට කෙහෙල්බද්දර පද්මේ විසින් ලබාදුන් පොරොන්දුවක් මත බව විමර්ශනවලින් හෙළි වී ඇත.

සංජීව ඝාතනය වෙනුවෙන් ඉෂාරා කිසිදු මුදලක් ලබාගෙන නොමැති අතර ඇයගේ එකම සිහිනය වී ඇත්තේ යුරෝපයේ රටකට යෑමය. ඒ සඳහා කෙහෙල්බද්දර පද්මේ පොරොන්දුවක් ලබාදීම සහ සංජීව ඝාතනයේ මෙරට සැලසුම්කාරිය ලෙස ඇය කටයුතු කර තිබූ බවද මේ වනවිට අනාවරණය වී තිබේ.

ඉෂාරා සෙව්වන්දිට ලබාදුන් පොරොන්දුව ඉෂ්ට කිරීම සඳහා පද්මේ ජේ.කේ. බායි නමැත්තාට රුපියල් ලක්ෂ 65ක් ලබාදී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර ඇය කෙසේ හෝ යුරෝපයට යැවීමට සැලසුම් කරගෙන සිට ඇති බවද හෙළි වී ඇත.

සංජීව ඝාතනය වෙනුවෙන් තමා කිසිම මුදලක් පද්මේගෙන් ලබානොගත් බවත් නේපාලයේ ජීවත්වීමට ඔහු විසින් මාසිකව තමන්ට මුදල් එවූ බවත් ප්‍රශ්න කිරීම් හමුවේ ඉෂාරා ප්‍රකාශ කර තිබේ.

කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම කුඩා කල සිට කරගෙන ගොස් ඇති ඉෂාරා තම රට සිහිනය පිළිබඳ ඔහුට නිතර පවසා ඇත. “ඔයාව යුරෝපයේ හොඳ රටකට යවන්නම් ඒ වෙනුවෙන් මට උදව්වක් කරන්න ඕනෑ” යැයි පද්මේ ඉෂාරාට ප්‍රකාශ කර තිබේ.

සංජීව ඝාතන සැලසුම සඳහා ඉෂාරාගේ සහාය පද්මේ විසින් ලබාගෙන ඇත්තේ ඇයගේ සිහිනය සැබෑ කරදීමට පොරොන්දු වීමෙන් පසුවය.

ඉෂාරා සෙව්වන්දි ඇතුළු නේපාලයේදී අත්අඩංගුවට ගත් 06 දෙනාම දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන ඇත.

මේ අතර නේපාලයේ සිට කෙහෙල්බද්දර පද්මේ සමග අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බව කියන ‘ගම්පහ බබා’ නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී ටී 56 උණ්ඩ 50ක් සොයාගෙන ඇත.

මෙම ජීව උණ්ඩ තොගය කඳාන කෙරවළපිටිය අධිවේගී පිවිසුමේ කණුවක් අසල තිබී සොයාගෙන තිබෙන අතර පද්මේ විසින් ගම්පහ ඔස්මන් නමැත්තා ඝාතනය කිරීමට මෙම උණ්ඩ ලබාදී ඇති බවට ‘බබා’ නමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත. අදාළ පතොරම් තොගය වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ගණේමුල්ල සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබාදුන් බවට මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 52 හැවිරිදි කාන්තාව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

බස්නාහිර දකුණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කොළඹ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

මේ අතර සෙව්වන්දි ඇතුළු කණ්ඩායමත් සමග නේපාලයේ සිට රැගෙන ආ නුගේගොඩ බබීගේ නිවසේ තිබී ජීව අත්බෝම්බයක් සහ ජීව පතුරම් කිහිපයක් සොයා ගෙන තිබේ.

පසුගියදා ඉෂාරා සෙව්වන්දි කණ්ඩායමත් සමග නේපාලයේදී අත්අඩංගුවට පත්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ කළුදුර දිනේශ් ශාමන්ත ද සිල්වා නොහොත් (නුගේගොඩ බබී) නමැත්තා දිවයිනට රැගෙන ඒමෙන් පසු වැඩිදුර විමර්ශන හා පරීක්ෂණ සඳහා බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත.

අනතුරුව සිදු කළ වැඩිදුර විමර්ශනයේදී නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවත ප්‍රදේශයේ පිහිටි සැකකරුට අයත් නිවස ඉදිරිපිට ඇති දෙල්ගසක් ආසන්නයේ පොළොවේ වළ දමා තිබූ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ ජීව ටී 56 උණ්ඩ 10ක් පෙරේදා (18 දා) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකාර බබී නමැත්තා නුගේගොඩ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ 2016 වර්ෂයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් හා සංවිධානාත්මක අපරාධ රැසකට මෙන්ම මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි අයකු බවත් පොලිස් උකුසු ඇසට වැලි ගසා සිදුකළ අපරාධවලින් බේරීමට රටින් පැන ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිට ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරු විදෙස් රටක සැඟව සිටියදී ගෝල බාලයින් යොදවා නුගේගොඩ, විජේරාම, කොහුවල යන ප්‍රදේශවල මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බවත් පොලිසිය කියයි.

වසර කිහිපයකට පෙර කොහුවල ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් කර රටින් පලා ගොස් ඩුබායි හි සැඟව සිටියදී සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව ශ්‍රී ලංකාවට රැගෙන විත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර ඇත. විරුද්ධ පාර්ශ්වවලින් නැගෙන තර්ජන නිසා නැවත විදෙස්ගතව මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් පවත්වා ගෙන ගිය අයකු බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

බස්නාහිර දිසාව අපරාධ කොට්ඨාසයට සැකකරු රැගෙන ඒමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ කරුණු මත ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි සිය නිවසේ ඉදිරිපිට දෙල්ගස අසල විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බය සහ ජීව උණ්ඩ ඉටි උරයක ඔතා ටින් එකක දමා ඉතා ආරක්ෂිතව වළ දමා ඇති බවත් දෙවන වරට විදෙස්ගත වීමට පෙර මෙය සිදුකළ බවත් සැකකරු ප්‍රකාශ කළ බව පොලිසිය පවසයි.

සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා නැවත බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින බව ද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හා පරීක්ෂණ බස්නාහිර පළාත දකුණු භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත ඩී. විජේසේකර, බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජානක කුමාර යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක චතුරංග මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (40248) ප්‍රසන්න, (72338) ලලන්ත, (72979) චමින්ද, (84762) කුමාර, පොලිස් කොස්තාපල් (19363) සේනානායක සහ (15079) ජයසිංහ යන නිලධාරීහු සිදු කරති.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *