Latestදේශීය

ලංවිම කිසිලෙසකින්වත් පෞද්ගලීකරණය කරන්නේ නැහැ – කුමාර ජයකොඩි

නව විදුලිබල (සංශෝධන) පනතේ විධිවිධානවලට අනුකූලව විදුලිබල මණ්ඩලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් පිහිටුවන රජය සතු සමාගම් හතරක් සඳහා මණ්ඩලයේ සියලු සේවකයන් අනුයුක්ත කරන බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය.

ඒ සඳහා එකඟ නොවන සේවකයන්ට දැනට හඳුන්වා දී ඇති ස්වේච්ඡාවෙන් වන්දි ලබාගැනීමේ (වීආර්එස්) ක්‍රමවේදයට අනුගත විය හැකි බවද අමාත්‍යවරයා පැවසීය. කෙසේ වුවද සියලු සේවකයන් ආයතනය තුළ රඳවා ගැනීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මේ බව සඳහන් කළේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. රජය සතු නව සමාගම් හතරකට විදුලිබල මණ්ඩලයේ සේවකයින් අනුයුක්ත කරන බව රජය නිල වශයෙන් ලංවිම සේවකයින්ට දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කරන්නේ නැහැ. මණ්ඩලයේ සියලු සේවකයන් ස්ථාපිත කරන සමාගම් හතරක් වෙත අනුයුක්ත කරනවා. ඒ සඳහා අකැමැත්ත පළකරන සේවකයන්ට දැනට ප්‍රකාශයට පත් කර ඇති ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑමේ වන්දි ක්‍රමවේදයට අයදුම් කළ හැකියි. සියලු සේවකයන් රඳවා තබා ගැනීම රජයේ අපේක්ෂාවයි.

ලංකා විදුලිබල මණ්ඩලය යටතේ සමාගම් කිහිපයක් තිබෙනවා. ලෙකෝ සමාගම විසින් ඒඩීබී යටතේ නවීකරණ කටයුතු ගණනාවක්ද මේ වනවිට සිදු වෙනවා. සේවකයන්ට පනත අනුව දැනුම් දීමක් කර තිබෙනවා. මේ මේ සමාගම්වලට ඔබ අනුයුක්ත කරනවා කියලා. පනත අනුවයි අපි කටයුතු කර තිබෙන්නේ. ඔක්තෝබර් 27 ට කලින් ඒ දැනුම් දීම කළ යුතුයි. ඒ අයගේ තනතුරුවලට හානියක් හෝ වැටුප් අඩුකිරීමක් සිදුකරන්නේ නැහැ. විදුලිබල මණ්ඩලයේ සිටින විදිහටමයි අපි දාන්නේ. සේවකයින් මේ ගැන දැනුම් දුන්නත් නැතත් අදාළ ලිපියට අනුව අනුයුක්ත කිරීම සිදු වෙනවා. ඒ වගේම විදුලිබිල වැඩි කරන්නේ නැහැ කියලා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබෙනවා.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *