ලොකු පැටීගේ ගන්දර යකැදුරා රිමාන්ඩ්
`ලොකු පැටී’ නම් අපරාධකරුට ආධාර අනුබල දුන් චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ගන්දර ප්‍රදේශයේ යකදුරා එළැඹෙන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියෝග කර තිබේ.
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින `ලොකු පැටී’ගේ මුදල් පාලන කටයුතු මෙම යකදුරා විසින් සිදුකර ඇති බව වාර්තා වේ.
පසුගිය 16වනදා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
ඒ අනුව අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලොකු පැටී නමැති සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දිනේෂ් කුමාර නමැති යකදුරා මත්ද්‍රව්‍ය පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා විමර්ශන සිදුකළ බව දන්වා ඇත.
මෙම සැකකරුගේ රුපියල් කෝටි 33කට අධික මුදල් ඇතුළත් ගිණුම් හමුවී තිබෙන බවත්, එම මුදල් උපයාගත් ආකාරය මෙම සැකකරුට පැහැදිළි කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබෙන බවත් පොලිසිය අධිකරණය හමුවේ පවසා තිබේ.
කෙසේ වෙතත් මෙම සැකකරු කුමන පනතක් යටතේ අධිකරණයට ඉදිරිපත් කරන්නේ දැයි අද ඉදිරිපත් කළ වාර්තාවේ පැහැදිළිව සඳහන් කර නොමැති බව පෙන්වා දී ඇති මහෙස්ත්‍රාත්, මෙම නඩුව ලබන 24 වනදා යළි කැඳවන ලෙස නියෝග කර ඇත.
එදින මෙම සැකකරුට ඉදිරිපත් කරන චෝදනා මොනවාද? යන්න පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
@Lanka Truth