කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාවක් – සාවිත්‍රි පෝල්රාජ්
ශ්‍රී ලාංකික කාන්තාවන් ගේ අයිතිවාසිකම් සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් පිහිටුවන ලද මෙම ස්වාධීන කොමිෂන් සභාව ඉතා නුදුරේදී තම මෙහෙයුම් අරඹනු ඇත.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් , පිහිටවූ ජාතික කොමිෂන් සභාවේ සභාපතිනිය සහ එහි සාමාජිකාවන් සමඟ පසුගිය දා (23) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.
2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත ප්‍රකාරව පිහිටුවනු ලැබූ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් ලෙස මෙහෙයුම් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික යටිතල පහසුකම් ඇතුළු අනෙකුත් කටයුතු සම්පාදනය කරගැනීම සඳහා ජාතික කාන්තා කමිටුව ප්රමුඛ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය හරහා සැපයිය හැකි උපරිම දායකත්වය සැපයීමට කටයුතු කරන ලෙස එහිදී ගරු අමාත්‍යවරිය විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදී.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධාන කළ මෙම සාකච්ඡාව සඳහා කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ අභිනව සභාපති ආචාර්ය රමණි ජයසුන්දර මහත්මිය, එහි සාමාජිකාවන් වන ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්ර සහ සමාජ විද්‍යාපීඨයේ, නීති අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනහා සේල්වරාස් මහත්මිය, ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ශ්‍රියානි ගුණරත්න මහත්මිය සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය ප්රමුඛ අමාත්‍යාංශ නිලධාරීන් ද එක්ව සිටියහ.


