ලසන්ත ඝාතකයා කොටුවෙයි – අපරාධකරුවන්ගේ සුලමුල හෙළිවෙයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනයේ වෙඩික්කරු, යතුරුපැදි කරු, වෙඩික්කරුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් ඊයේ (26) සවස් වන විට අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.
මහරගම, නාවින්න ප්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකින් වෙඩික්කරු කොටු කර ගත් බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළේය.
මෙම වෙඩික්කරු තවත් වෙඩි තැබීම් 6කට පමණ සම්බන්ධ බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවද පොලිස්පතිවරයා කීවේය.
මේ වෙඩික්කරුට ඩුබායි හී සිටින රජිත නමැත්තෙකු විසින් රුපියල් ලක්ෂ 15කට ලබා දුන් කොන්ත්‍රාත්තුවකට අනුව ඝාතනය සිදු කර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
රජිත නමැත්තා මිදිගම රුවන් සහ මිදිගම චූටි නමැති අයවළුන් සමඟ සම්බන්ධකම් පවත්වන්නෙකු බවටද තොරතුරු අනාවරණය වී තිබේ. ඔවුන් දෙදෙනාම හරක් කටාගේ ප්‍රධාන ගෝලයන්ය. මිදිගම රුවන් බූස්ස බන්ධනාගකාරයේ රඳවා තිබෙන අතර මිදිගම චූටි පසුගිය කාලයේ ඕමාන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි.
ඩුබායි හී රැඳී සිටින රජිත නමැත්තා වෙඩික්කරුව සම්පූර්ණයෙන් මෙහෙයවා තිබෙන බවත් ඔහුට පලා යන මාර්ග පවා සඳහන් කර ඇති බවත් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
වෙඩික්කරු දේශීය වශයෙන් නිෂ්පාදන කළ ගිනි අවියකින් ඉලක්කයට වෙඩි තැබීමට තමා විසින්ම පුරුදු පුහුණු වූ අයෙකු බවත් ඔහු පහ ශ්‍රේණිය තෙක් අධ්‍යාපනය ලද අයකු බවද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.
මෙසේ අත්අඩංංගුවට ගෙන ඇත්තේ කොන්තපෙන, බැඳිපිට, අඟුළුගම පදිංචිකරුවෙක් වන සැකකරු හක්මන පරණ ලියනගේ නුවන් තාරක නමැත්තෙකුය.
මෙම සැකකරු කැකිරාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේ සැඟව සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුරකතන ජාල විශ්ලේෂණයක් ඔස්සේ කළ විමර්ශනයකින් හෙළිකර ගෙන ඔහුව කොටුකර ගැනීමට විශේෂ මෙහෙයුමක්ද ඊයේ (26) අලුයම් කාලයේදී දියත් කරනු ලැබීය. පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ අනුරාධපුර කොට්ඨාසයේ නිලධාරීන්ගේද සහය ඇතිව කළ ඒම මෙහෙයුමේදී සැකකරුගේ බිරිය ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ද පොලීසිය සමත්ව ඇත. යතුරුපැදිකරු ද සිට ඇත්තේ එම ස්ථානයේය.
වෙඩික්කරු එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සමඟ පොර බැඳ පලාගොස් තිබේ.
ඩුබායි සිට රජිත විසින් ලබා දුන් උපදෙස්වලට අනුව සැකකරු කැකිරාවේ සිට බස් රථ කිහිපයකට මාරු වෙමින් කොළඹ කොටුවට ඊයේ (26) දහවල් වන විට පැමිණ තිබේ. ඒ පැමිණෙන විට ඔහුට දැඩිව අයිස් භාවිත කිරීමේ අවශ්‍යතාවක් තිබී ඇති අතර පිටකොටුවේ සිට අයිස් මත්ද්‍රව්‍ය සොයා ගෙන බොරැල්ල සහසපුරටද ගොස් ඇතැයි තොරතුරු හෙළිව තිබේ.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තාක්ෂණික මෙහෙයුමක් ඔස්සේ ඔහුව නිරීක්ෂණය කරමින් සිට ඇත. ඔහු පිට කොටුව හා කොටුව ප්‍රදේශ ආශ්‍රිතව සැලකිය යුතු කාලයක් ඊයේ (26) ගත කර තිබිණි. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට ඒ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක්ද පොලීසිය ආරම්භ කර තිබිණි. ඒ මෙහෙයුම සිදු වන විට සැකකරු කොටුවේ සිට බස් රථයක් නැඟි කොට්ටාවට ගමන් කර ඇති අතර කොට්ටාවේ සිට මහරගමට පැමිණ තිබේ. සැකකරු තමන්ගේ දුරකතනය ඉවත් කර වෙනත් දුරකතනයක් ගැනීමට මහරගම දුරකතන අලෙවිසලකට ගොස් ඇත. ඒ දුරකතන අලෙවිසලෙන් එළියට එන විට රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් පරීක්ෂකවරයකුට රාජකාරී නිම වී සිටියදී සැකකරුව නීරීක්ෂණ වී ඇත. ඒ අවස්ථාවේදී ඔහු සැකකරු ඇල්ලීමට පස්සෙන් පන්නා ඇති අතර එවිට දුරකතනයක් සොරකම් කර ඇතැයි සිතු පාරේ ගමන් කරන අයද සැකකරු පසුපස පන්නා අල්ලා ගෙන තිබේ. එවිට මෙහෙයුමේ සිටි නිලධාරීන්ද එහි පැමිණ සැකකරු අල්ලා ගෙන තිබේ.
වැලිගම සභාපතිට වෙඩි තැබීමෙන් පසුව කැකිරාවට පලා ආ වෙඩික්කරු ඔහුගේ බිරියත්, යතුරුපැදිකරුත් රැඳී සිටින ස්ථානය තාක්ෂණික මෙහෙයුමකින් හඳුනාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කමතක් ලෙස භාවිත කරන ලද අත්හැර දමන ලද නිෙවසක් සහිත ඉඩමත් වටලා පරීක්ෂා කර මුලින්ම සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක උදය කුමාර වුඩ්ලර් මහතා පැවසීය. එම කාන්තාව වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයාගේ බිරිඳය.
මේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සමඟ සිටි තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු පොලිස් නිලධාරීන් සමඟ පොරබැදීමක් ද සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එහිදී පොලිස් නිලධාරියෙක් තුවාල ලබා ඇති බව ද සඳහන්ය. වෙඩික්කරු පලාගොස් ඇත්තේ මේ පොරබැදීම් අතරතුරදීය. මේ සම්බන්ධයෙන් ද සැකකරුවෙක් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට එල්ලවී ඇති චෝදනාව වන්නේ වෙඩික්කරුට පහසුකම් සලසා දීමයි. එම පුද්ගලයා කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩික්කරුගේ බිරිය බව කියන සැකකාරිය සතුව තිබී රුපියල් ලක්ෂ 12කට අධික මුදලක් ද පොලීසිය සොයාගෙන ඇත. පලාගිය සැකකරු මාතර සිට කැකිරාවට සිය බිරිය සමඟ පැමිණීමට යොදා ගත් යතුරුපැදිය ද එහි තිබී පොලීසිය සොයාගෙන තිබේ. හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ද, ඒවා භාවිතයට යොදා ගන්නා උපකරණ ද සැකකරුවන් රැඳී සිටි නිවෙසේ තිබී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතකයා දින දෙක තුනක් ඇතුළත නීතියේ රැහැනට හසුකර ගන්නා බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ පසුගිය 23 වැනිදාය. ඒ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ද ලැබී ඇති බව ඇමැතිවරයා පැවසීය.
ඇමැති ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහත්වරුන්ගේ මඟපෙන්වීම මත පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්ෂණයෙන් වෙඩි තැබීම සම්බන්ධයෙන් වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන සිදු වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අසංක කරවිට මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ඍජු අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කළ බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
ඒ අනුව දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණ භාර වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිගම පොලීසියේ නිලධාරීන් විසින් ද එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනය සිදු වූ දිනට පෙර දින, ඝාතනය සිදු වූ දින සහ ඝාතනයෙන් පසුදින ප්‍රධාන සැකකරු, ඔහුගේ සහායකයා හා ප්‍රධාන සැකකරුගේ බිරිය සමඟ ඇඳුම් පැලඳුම් හෙල්මට් ආදිය මිලදී ගැනීමට ගාල්ල ඇතුළු ප්‍රදේශවලට ගමන් බිමන් ගිය ත්‍රිරෝද රථයේ රියැදුරු ලෙස කටයුතු කර ඇති තැනැත්තාය. ඔහු ගාල්ල, හියාරේ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි.
මේ වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ සිටම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාගේ මෙහෙයවීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් තාක්ෂණික මෙහෙයුමක නිරතව සිට ඇත්තේ වෙඩික්කරුගේ ජංගම දුරකතන අංකය ඔස්සේය. එම අංකය හඳුනාගෙන ඇත්තේ ද තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ සභාපතිවරයාට වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරු සහ යතුරුපැදිකරු යතුරුපැදි දෙකකින් මාතර සිට ඌව පළාතට පැමිණ ඇති බවයි. ඒ අතර සිටින වෙඩික්කරුත්, පැදිකරුත් මාතර සිට කැකිරාව දක්වා පලාගොස් ඇත්තේ කතරගම, තණමල්විල, වැල්ලවාය, රිදීමාලියද්ද , මහියංගණය ඔස්සේය. ඒ යන අතරතුර ස්ථාන කිහිපයකම නවාතැන් ගනිමින් ගොස් ඇති බව ද අනාවරණය වී තිබේ. වැලිගම සභාපතිවරයාට වෙඩි තැබීමෙන් පසු කැකිරාව දක්වා කිලෝමීටර් 500ක පමණ දුරක් වෙඩික්කරු යතුරුපැදියෙන් ගමන් කර ඇති බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. පැදිකරු යතුරුපැදිය ඌව පළාතේ යම් ස්ථානයක සඟවා ඇතැයි ලද තොරතුරකට අනුව එම යතුරුපැදිය ද සිය භාරයට ගැනීමට පොලිස් කණ්ඩායමක් ඊයේ මෙහෙයුමක නිරතව සිටියහ. ඌව පළාතේ යම් තැනක පැදිකරු යතුරුපැදිය සැඟවීමෙන් පසු ඔහු ද වෙඩික්කරු පැදවූ යතුරුපැදියේ නැඟී කැකිරාව බලා ගමන් කර ඇත. එම යතුරු පැදියේ වෙඩික්කරුත්, පැදිකරුවත්, වෙඩික්කරුගේ බිරියත් ගමන් කර ඇති බව සඳහන්ය. ඔවුන් බකමූණ ප්‍රදේශයේ හෝටලයකින් එදින සවස කෑම ගෙන ඇති බවත් පෙනී ගොස් ඇත. මේ තිදෙනාම ඌව සිට කැකිරාවට යතුරුපැදියෙන් පොලිස් ආරක්ෂාව මඟහැර ගමන් කළේ කෙසේ දැයි යන්න ද සීසීටීවී කැමරාවලින් සොයා බලමින් සිටින බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය.
සැකකරුගේ දකුණු අතේ ඉහළ බාහුවේ ඉංග්‍රීසියෙන් ANURADA ද වම් අතේ ‘හිතුමතේ ජීවිතේ’ ලෙස පච්චයක් සලකුණු කර ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
@දිනමිණ

