දකුණු ආසියාවේ අනුශූරයෝ ඔලිම්පික් බලාපොරොත්තු ඇතිකරයි
ඉන්දියාවේ රංචි නුවරදී නිමා වූ 4 සිවුවැනි දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කම් 40ක් සමඟින් අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ යළි මෙරටට පැමිණියේය. එහිදී රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ශ්‍රී ලංකාවට හිමි විය. සමස්ත පදක්කම් 58ක් (රන් 20, රිදී 20, ලෝකඩ 18) ඉන්දියාවට ශූරතාව හිමි විය.
මේ තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගත් ක්‍රීඩාව බවට ත්‍රිත්ව රන් පදක්කම් දිනූ ෆාතිමා සෆියා යාමික් පත්වූ අතර, ඇය එහිදී වසර 28ක් පැරණි වාර්තාවක් ද අලුත් කර තිබිණි.
සෆියා මෙරටට පැමිණීමෙන් අනතුරුව පැවසුවේ 2028 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාව පදක්කමක් දිනා දීම අනාගත බලාපොරොත්තුව බවයි. කෙසේ වෙතත් ඉන් පෙර පැවැත්වෙන ආසියානු සහ පොදුරද මඬුලු ක්‍රීඩා උලෙළවලදී දස්කම් දැක්විය යුතු බව ද ඇය කීවාය.
“මගේ අනාගත බලාපොරොත්තුව 2028 වසරේ ශ්‍රී ලංකාවට කුමන හෝ පදක්කමක් දිනා දීම. ඒත් ඔලිම්පික් පදක්කමකට යන්න කලින් ආසියානු ක්‍රීඩා උලෙළට සහ පොදුරද මඬුලු ක්‍රීඩා උලෙළට යන්න තියෙනවා. එතකොට මගේ දැන් තියෙන ටයිමින් එකත් එක්ක තව ටයිමින් වැඩිදියුණු කරගන්න ඕන. මගේ සැලැස්ම දන්නේ මට වඩා මගේ පුහුණුකරු වන එස්.බී. විතාන මහතායි.” සෆියා යාමික් කියා සිටියාය.
සිය රන් පදක්කම් ත්‍රිත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය කියා සිටියේ තරග වාර්තා 3ක් සමඟ රන් පදක්කම් 3ක් දිනා ගැනීමට හැකි වීම සතුටක් බවයි. තරග අවසානයේ තුන් වතාවක් ජාතික කොඩිය එසවෙද්දී දෑසින් කඳුළු ආ බවත්, ඒ වේලාවේ පපුව පිච්චී යන සතුටක් දැනුණු බවත් ඇය හැඟීම්බරව පැවසුවාය.

වසර 6ක් ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකා සහාය කණ්ඩායම නියෝජනය කළ ඇය තනි ඉසව්වකින් තරග බිමට පිවිසි පළමු අවස්ථාව මෙය විය. එහිදී රන් පදක්කම් දිනා ගැනීමට හැකිවීම සතුටක් බවට ද ඇය කීවාය.
කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 11.53කින් නිම කරමින් තරගාවලියේ වාර්තාවක් පිහිටවූ 26 හැවිරිදි සෆියා මීටර් 200 ඉසව්වේදී සිය හොඳම දස්කම සමඟින් තත්පර 23.58කින් නිම කර රන් පදක්කමට හිමිකම් කීවේ 1998 වසරේ ඉන්දියාවේ පී.ටී. උෂා තත්පර 23.90කින් තබා තිබූ වාර්තාව ද මකා දමමිනි. ඇය නව තරග වාර්තාවක් බිහි කරමින් කාන්තා මීටර් 100 සහාය ඉසව්වේ රන් පදක්කම දිනාගත් කණ්ඩායමේ සාමාජිකාවක ද වූවාය.
“මීටර් 100 ඉසව්වේදී අභියෝගයක් තිබ්බේ නැහැ. ඒත් මීටර් 200 ඉසව්වේදී ඉන්දියාවේ සාක්ෂිගෙන් අභියෝගයක් එල්ල වෙයි කියලා හිතුවා. ඒත් මගේ මූලික වටයේ තරගයේදී එයා හිටියේ නැහැ. ඉතිං මට හොඳ ටයිමින් එකකට යන්න පුලුවන් වුණා. මම ලංකාවේදී අන්තිම දිව්වේ 23.78ක්. ඒත් සාක්ෂිගේ අභියෝගය නිසා මට 23.58ක් වාර්තා කරන්න පුළුවන් වුණා.”
මේ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 84.29ක දක්ෂතාවක් සමඟ රන් පදක්කමට හිමිකම් කී රුමේෂ් තරංග සමත් විය.
“පළමු වතාවට දකුණු ආසියාවේ දක්ෂතම ක්‍රීඩකයා වීමට ලැබීම සතුටක්. මේ අවුරුද්දේ මගේ හැම තරගයක්ම හොඳින් නිමා වී තිබෙනවා. මම බලාපොරොත්තු වෙනවා ලබන වසරේදී මීට වඩා හොඳ විදිහට සීසන් එක ඉවර කරන්න. ලබන වසරේ තියෙන පොදුරද මඬුලු සහ ආසියානු ක්‍රීඩා උලෙළවලදී උපරිම දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2027 සහ 2028 ලෝක මලල ක්‍රීඩා සහ ඔලිම්පික්වලදී පදක්කම් දිනා ගැනීම එකම බලාපොරොත්තුවයි.” රුමේෂ් තරංග අදහස් දක්වමින් පැවසීය.
මීටර් 100 ජය ගනිමින් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වූ චමෝද් යෝධසිංහ පැවසුවේ “දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වීම ගැන විශාල සතුටක්. මම වසර 4ක් අඛණ්ඩවම මීටර් 100 ජාතික ශූරයා. මගේ බලාපොරොත්තුව ආසියානු, පොදුරඳ මඩුලු සහ ඔලිම්පික් ක්‍රීඩා උලෙළවලදී පදක්කම් දිනා ගැනීමයි.”

මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි අතර, එහිදී ඇමැතිවරයා පැවසුවේ මෙය සතුටු විය යුතු දවසක් බවයි.
“අද සතුටු විය යුතු දවසක්. ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණයක් අත්කර ගත්තා. මේක අපිට විශිෂ්ට ජයග්‍රහණයක්. අපේ ලංකාවේ අනාගතයේ ක්‍රීඩාවේ දිසාව පෙන්වන, තීරණය කරන ජයග්‍රහණයක්. අපි මේ සඳහා අමාත්‍යාංශය ලෙස මැදිහත් වුණා. අපි මේ ක්‍රීඩකයන් තෝරලා අනුග්‍රහය දැක්වුවා. අනාගත ඔලිම්පික් වැඩසටහනේ ඉන්න ක්‍රීඩකයනුත් මේකේ ඉන්නවා. අපි ක්‍රියාත්මක කළ වැඩසටහනක් විශේෂයෙන්ම පිටිවහලක් වෙලා තියෙනවා තමන්ගේ ජයග්‍රහණ අත්පත් කර ගැනීමට” ක්‍රීඩා ඇමැතිවරයා කියා සිටියේය.
මේ තරගාවලිය වසර 17කට පසුව සංවිධාන කළ අතර, අවසන් වරට 2008 වසරේදී පවත්වා තිබිණි.
මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ක්‍රීඩා ඇමැතිවරයාට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා ක්‍රීඩා අංශ නිලධාරීන් සමඟ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මවුපියන් ඇතුළු පිරිසක් ද ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.
මේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊයේම සිය ගම්බිම් බලා පිටත්ව ගිය අතර, එහිදී ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් දක්නට ලැබිණි.
@දිනමිණ

