Latestදේශීය

නාමල්ට ජනාධිපති වීමේ හැකියාවක් නැහැ – රෝහණ බණ්ඩාර

(වත්මන් ආණ්ඩුවේ ගමන් මඟ කෙබඳු ද? සජබ සහ එජා­පයේ එක­ඟ­තා­ව යනාදී කරුණු කාරණා පිළි­බ­ඳව සජබ අනු­රා­ධ­පුර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සමඟ දිවයින පුවත්පතේ රජිත බස්නායක කළ සාක­ච්ඡා­ව පහතින්)

වත්මන් රජය කියන්නේ මේ වෙන­කොට රටට සුබ­දායී විදි­හට ඔවුන් තමන්ගේ පාලන ක්‍රම­වේ­දය පව­ත්වා­ගෙන යනවා කියලා. මේ ගැන ඔබට මොන­වද කියන්න තියෙන්නේ ?

කිසිම ආණ්ඩු­වක් හිතා මතා වැරදි දේවල් කරයි කියලා මම හිතන්නේ නෑ. නමුත් ආණ්ඩුව යම් යම් තීරණ ගන්නවා, ඒ වගේම ඒවා කර­න්නත් උත්සාහ ගන්නවා. ආණ්ඩු­ව­ටත්, ජන­තා­ව­ටත් වැද­ගත් වෙන්නේ ඒකේ අව­සාන ප්‍රති­ඵ­ල­යයි. ආණ්ඩුව හොර­කම් කරන්නේ නෑ කිය­නවා, දූෂිත නෑ කිය­නවා. නමුත්, මේ දේව­ල්ව­ලින් කිසිම දෙයක් ජන­තා­වට ලැබිලා නෑනේ. එතැ­නයි ප්‍රශ්නය තියෙන්නේ. ආණ්ඩුව හොඳයි කියලා හිතා­ගෙන කර­නවා. ඒත්, ප්‍රති­ඵ­ලය ජන­තා­වට සුබ­දායී නෑ කිය­ලයි මම විශ්වාස කරන්නේ.

ඔබ එහෙම කියන්නෙ මොන වගේ කරුණු පද­නම් කර­ගෙ­නද ?

දැන් සෑම ක්ෂේත්‍ර­ය­කම වගේ කඩා­වැ­ටී­මක් පෙන්නුම් කර­නවා. විශේ­ෂ­යෙන් අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ කෘෂි­ක­ර්මා­න්තය පැත්තෙන් එළ­වළු ගොවියා, වී ගොවියා හැම­දෙ­නාම අප­හ­සු­තා­ව­යට පත්වෙ­ලෙයි ඉන්නේ. වට්ටක්කා, බඩ­ඉ­රිඟු, බී ලූනු ගොවීන් අස­ර­ණයි. එත­කොට අනිත් ක්ෂේත්‍ර ගත්ත­මත් එහෙ­මයි. සංචා­රක කර්මා­න්ත­යේත් මහා ලොකු වර්ධ­න­යක් පේන්න නැහැ. සාර්ථ­ක­ත්වය දක්වා ගමන් කිරී­මක් තව­මත් දක්නට නෑ. යෝධ සංව­ර්ධන ව්‍යාපෘති ගේනවා කිවුවා. නමුත් කිසි දෙයක් ප්‍රායෝ­ගි­කව ඉෂ්ට වෙන බවක් පේන්න නෑ.

ඔබට මේ ආණ්ඩුවේ තියෙන දුර්ව­ල­තා­ව­න් විදි­හට පේන්න තියෙන්නේ මොන­වාද ?

ඔවුන්ට පළ­පු­රු­ද්දක් නැති­කම සහ වග­කීම් භාර ගැනී­මට ආණ්ඩුව පැත්තෙන් උත්සා­හ­යක් නොගැ­නීම මම දකින ප්‍රධා­නම දුර්ව­ල­තා­ව­යි. රාජ්‍ය සේව­ක­යන් මත සියල්ල දාලා නිවැ­රදි වීමට උත්සාහ ගන්නවා. ඒ තුළ රාජ්‍ය සේව­ක­යන් අද මැළි­ක­මක් දක්ව­නවා වග­කීම් භාර­ගෙන කට­යුතු කරන්න. පසු­ගිය අය වැය බැලු­වම පේන්න තියෙන දෙයක් තමයි සමස්ත අය වැය ඉල­ක්ක­ව­ලින් 40%කට වඩා ඉහ­ළට යන්න බැරි වෙලා තියෙ­නවා. එතැ­නට යන්න නම් රාජ්‍ය යන්ත්‍ර­ණය සහ­යෝ­ගය දැක්විය යුතුයි.

සහ­යෝ­ගය දක්වන්න නම් ආණ්ඩුව උප­ක්‍ර­ම­ශී­ලීව කට­යුතු කළ යුතුයි. මේ රටේ රාජ්‍ය සේවකයන් 80%කට කිට්ටු වෙන්න ඡන්දය ලබා දුන්නා. දැන් අද රාජ්‍ය සේවයේ සහ­යෝ­ගය නැත්තේ සේව­ක­යන් වග­කීම් භාර අර­ගෙන කට­යුතු කරන්න තියෙන මැළි­කම. ඒ නිසා තමන්ගේ රැකි­යා­වට බල­පෑ­මක් වෙන දේවල් නොකර ඉන්න රාජ්‍ය සේව­කයෝ වග­බලා ගන්නවා. මේක තමයි ආණ්ඩුව අසා­ර්ථක වෙන්න බල­පාන ප්‍රධාන සාධ­කය විදි­හට මම දකින්නෙ.

ඔබ පක්ෂයේ වැඩ කට­යු­තු­ව­ලින් තාව­කා­ලි­කව ඉව­ත්වීමේ සූදා­න­මක් තිබෙ­නවා කියලා මාධ්‍ය‍ෙ­යන් ප්‍රකා­ශ­යට පත්වෙලා තියෙ­නවා ?

නෑ, ඒක සම්පූ­ර්ණ­යෙන් වැරදි ප්‍රවෘ­ත්ති­යක්. අපි ගත්ත තීන්දු­වක් තියෙ­නවා. ඒක කවුරු හෝ හිතා­මතා විකෘති කරලා මාධ්‍යට දීලා තියෙ­නවා. නැත්ත­නම් මාධ්‍ය විසින් එය විකෘති කරලා පළ කළාද කියන ගැට­ලු­වත් තියෙ­නවා. අපේම නියෝ­ජි­ත­ය­කුට නගර සභාවේ ආස­න­යක් නොලැ­බීම සම්බ­න්ධ­යෙන් පක්ෂ­යට විරු­ද්ධ­ත්වය ප්‍රකාශ කරලා මහ­ලේ­ක­ම්තු­මාට, කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ල­යට, නාය­ක­තු­මාට ලිඛි­තව අප එම සිදු­වීම දැනු­වත් කළා. ඉන් ලැබෙන පිළි­තුර මත සාමූ­හික තීන්දු­වක් ගමු කියල තමයි එක­ඟ­තා­වක් තිබුණේ. ඒ අතරේ පිරි­සක් යෝජනා කළා, සාර්ථක පිළි­තු­රක් ලැබුණේ නැත්නම් දේශ­පා­ලන කට­යු­තු­ව­ලින් ඈත්වෙලා ඉමු කියලා. ඒවා යෝජනා කිහි­ප­යක් පම­ණයි. අපි ඒවා සම්මත කළේ නෑ. නමුත්, අපි ගත්ත තීන්දුව කවුරු හෝ කෙනෙක් හිතා­මතා මාධ්‍ය­යට දීලා තිබුණා රෝහණ බණ්ඩාර දේශ­පා­ල­න­යෙන් ඉව­ත්වෙ­නවා කියලා. එතැන තමා වැරැද්ද තියෙන්නේ. අපි තීන්දු­වක් ගත්තේ නගර සභාවේ මන්ත්‍රී ධුර පත්කි­රීම තුළ යම් අසා­ධා­ර­ණ­යක් සිදු වෙලා තියෙ­නවා කියලා පම­ණයි.

පක්ෂ­යෙන් කියන්නේ සජිත් ගමට ගිහින් වැඩ කරන්න පුළු­වන් බිම් මට්ටමේ නාය­ක­යෙක් කිය­ලයි. ඒත්, මෙතැ­නදී ඔබ­ටත් සවන් දීමක් සිදු­වෙලා නෑ වගේ නේද?

සවන් දුන්නා. මෙතු­වක් කාල­යක් මාස හය­කට ආසන්න කාල­යක් මන්ත්‍රී ධුර පත් නොකර හිටි­යෙත් ඔය සව­න්දීමේ කාර­ණාව මත පිහි­ට­ලයි. එත­කොට නිර­න්ත­ර­යෙන්, පක්ෂයේ කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ලය කිව්වේ පත්නො­කර ඉන්න එක ප්‍රශ්න­යක්, පත් කරලා ඉවර වෙලා අපි දේශ­පා­ල­නය ආරම්භ කරන්න ඕනෑ කියන එකයි. ඊට පස්සේ කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ල­යෙන් තමා කමි­ටු­වක් යෝජනා කළේ. මන්ත්‍රී ධුර පත්ක­රන්න කමි­ටු­වට පූර්ණ බලය දුන්නා. ඒක තමයි සිදු වුණේ.

රනිල් වික්‍ර­ම­සිංහ සමඟ ඩීල් දාපු පිරිස හෙළි වෙලා තියෙ­නවා. ඔවුන්ට දැන් තැනක් නැහැ කියලා මැති­ව­ර­ණ­යට පෙර ඔබ සඳ­හන් කළා. ඒ වුණත් එජා­පය සහ සජ­බය අලුත් එක­මු­තු­වක් පටන් ගත්තා. දැන් ඩීල් දාපු අයත් ඉන්නවා නොදාපු අයත් ඉන්නවා. එත­කොට මේකේ ඉදි­රිය තීර­ණය වෙන්නේ කොහො­මද?

කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ලය එක­ඟ­තා­වක් සහි­තව කණ්ඩා­ය­මක් පත් කරලා තියෙ­නවා එක්සත් ජාතික පක්ෂය එකතු වෙනවා නම් එකතු වෙන්නේ මොන ආකා­ර­යෙන්ද කියන කරුණු කාරණා සාකච්ඡා කරන්න. ඒ කට­යුතු තමයි දැන­ට­මත් සිදු කෙරෙ­මින් පව­තින්නේ. ගිය බදාදා කමිටු වාර්තා භාර දුන්නා. අපි තාම දන්නේ නෑ කමි­ටුවේ වාර්තා මොන­වද එතැ­නින් ඉස්ස­ර­හට ගන්න තීර­ණය මොකක්ද කියලා. පක්ෂ දෙක එක­තු­විය යුතුයි කියන එක සම්බ­න්ධ­යෙන් බිම් මට්ටමේ මත­වා­ද­යක් ඇති­වෙලා තියෙ­නවා. පසු­ගිය මැති­ව­ර­ණ­යෙන් පස්සේ රනිල් වික්‍ර­ම­සිංහ, සජිත් ප්‍රේම­දාස ලබා­ගත්ත ඡන්ද ප්‍රමා­ණය බැලු­වාම අපි දෙගොල්ල එක­තු­වෙලා හිටියා නම් ජය­ග්‍ර­හ­ණය කර­නවා කියන මත­වා­දය සමා­ජය තුළ ඇති වුණා. එය ක්‍රමා­නු­කූ­ලව වර්ධ­නය වෙලා දෙගොල්ල එකතු විය යුතුයි කියන මත­වා­දය ආවා. ජන­තා­වට සවන් දෙන ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂ­යක් නිසා ඒ පිළි­බ­ඳව සාකච්ඡා කරන්න අපි තීර­ණය කරලා තියෙ­නවා. අපි හැමෝම මේ එක­තු­වීම බලා­පො­රොත්තු වෙනවා. සමගි ජන­ බ­ල­වේ­ගයේ බහු­ත­ර­යක් මේ පිළි­බඳ බලා­පො­රො­ත්තු­වෙන් ඉන්නේ. මේ ප්‍රධාන පක්ෂ දෙකක්නේ එකතු වෙන්නේ. එත­කොට ප්‍රයෝ­ගික ගැටලු තියෙ­නවා. අපි තමා මාලි­මාව ගාවට තියෙන ප්‍රධාන බල­වේ­ගය. එජා­පය 3%ක් තියෙන පක්ෂ­යක්. එත­කොට අපි වටා තමා මේක එක­තු­වෙන්න ඕන. නැත්නම් සන්ධා­න­යක් විදි­හට එක­තු­වෙන්න ඕනෑ. එහෙම නැත්නම් අපි එජා­ප­යට ගිහිල්ලා හෝ එජා­පය අපි ළඟට ඇවිල්ලා එක­තු­වෙන්න ඕනෑ. මේකෙදී කෝටා එකක් තියෙ­නවා බෙදා­ගන්න. පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යක් නම් වෙන්නේ අනු­පා­ත­යක් හදා­ගන්න. එත­කොට අපි බෙදා­ගන්න ඕන සජ­බ­යට කීයද එජා­ප­යට කීයද කියලා. ඔය කියන කරුණු කාරණා සහ අපි එකතු වෙන්නේ මොනවා පද­නම් කර­ගෙ­නද කියන සියල්ල ගළ­පා­ගෙන සියල්ල සාර්ථක කර­ගැ­නීම තමයි සාක­ච්ඡා­වල පර­මා­ර්ථය වෙලා තියෙන්නේ.

ප්‍රධාන විප­ක්ෂය විදි­හට අපිට තියෙන කොටස ආරක්ෂා කර ගන්න පුළු­වන් විදි­හට යෝජනා එකතු වුණොත් මේ එක­තු­වීම කර ගන්නට අපිට පුළු­ව­න්කම ලැබෙයි. යම්කිසි විදි­හකින් ඒ විදි­හට සිදු නොවු­ණොත් සම­හ­ර­විට අසා­ර්ථක වෙන්නත් පුළු­වන්. මැති­ව­ර­ණ­යක් කල­එළි බැස්සම හිතා­ගන්න පුළු­වන් අපි එකතු වෙන­වද නැද්ද කියන කාර­ණාව.

ඔබ 2012 වස­රේදී එජා­ප­යෙන් ඡන්දෙ ඉල්ලුවා. 2020 වෙන­කොට සජ­බ­යෙන් ඡන්දෙ ඉල්ල­නවා. මේ එක­මු­තු­වත් සමඟ ඔබට හිතෙන්නේ නැද්ද හිටිය තැන­ටම නැවත යනවා වගේ හැඟී­මක්?

සමගි ජන­ බ­ල­වේ­ග­යට ආවා කියලා පක්ෂය දාලා ගියා කියලා හැඟී­මක් අපි කාට­වත්ම වෙලා නෑ. මොකද එජා­පයේ බහු­ත­රය සජ­බ­යට එක­තු­වෙ­ලයි හිටියේ. අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කය ගත්තම හැරි­සන් ඇමැ­ති­තුමා, චන්ද්‍රානි බණ්ඩා­ර­නා­යක මැති­නිය, චන්දිම ගමගේ මැති­තුමා ඇතුළු සම­ස්ත­යම පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරපු ආසන සංවි­ධා­ය­ක­ව­රුන් සිය­ලු­දෙ­නාම ඒ මොහොතේ සජ­බය සමඟ එකතු වුණා. එත­කොට එජා­ප­යෙන් ඉල්ල­නවා වගේ හැඟී­මක් අපට තිබුණේ. අද වුණත් අපේ දිස්ත්‍රි­ක්කයේ නම් එකතු වුණා කියලා වෙනස් වෙන්න දෙයක් නෑ. එක­තු­ වු­ණත් නොවු­ණත් අපි හිටිය කඳ­වුර තමා ඒක.

පොදු­ජන පෙර­මුණ නිර­න්ත­ර­යෙන් සඳ­හන් කරන දෙයක් තමයි නාමල් රාජ­පක්ෂ මීළඟ ජනා­ධි­ප­ති­ව­රයා කියලා. එයින් අද­හස් වෙන්නේ සමගි ජන බල­වේ­ග­යට අව­ස්ථා­වක් නෑ කියලා නේද?

ජනතා විමුක්ති පෙර­මුණ මීට පෙර ජනා­ධි­ප­ති­ව­ර­ණ­ව­ලට තරග කර­න­කොට කව­දා­වත් කිව්වද එයාලා පරාද වෙනවා කියලා. නෑනේ, ඔවුන් කිව්වේම ජය­ග්‍ර­හ­ණය කර­නවා කියලා. ඉතින් මෙත­නත් එහෙම තමයි. කව­දා­වත් කිය­න­වාද තමන් තමා පරාද වෙන්නෙ කියලා. ජය­ග්‍ර­හ­ණය කර­නවා කියලා තමයි කියන්නේ. මම නම් හිතන්නේ නාමල්ට මීළඟ ජනා­ධි­ප­ති­ව­රයා වීමේ අව­ස්ථා­වක් නෑ. ජය­ග්‍ර­හ­ණය කිරීමේ හැකි­යාව තියෙන්නේ සජිත් ප්‍රේම­දා­සට. පොහො­ට්ටුවේ ජනා­ධි­ප­ති­ව­ර­යෙක් බිහි­වෙන කාල­යක් නෙවෙයි මේක. පොහො­ට්ටුවේ ඡන්ද ප්‍රමා­ණයේ යම් වර්ධ­න­යක් සිද්ධ වෙලා තියෙ­නවා. නමුත් නාමල් ජනා­ධි­ප­ති­ව­රයා වීමට තවම කාලය නෙවෙයි.

කොහොම වුණත් තමන්ගේ දේශ­පා­ලන බලය වැඩි­දි­යුණු කර­ගැ­නීමේ අර­මු­ණින් ඔහු කොරි­යා­වට පවා ගියා?

ඔව්, මම ඒ ගැන වැඩි විස්ත­ර­යක් නම් දන්නේ නෑ. මම දන්නෙත් සෝෂල් මීඩි­යා­වල ගියපු දේවල් තමයි. ඒක අසා­ර්ථක වෙලා තියෙ­නවා කිය­ලත් දැක්කා.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *