ඉඩක් තියෙන හැමතැනකම ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන දෙයක් වගා කළ යුතුයි – ලාල් කාන්ත
වගා නොකර පවතින ගොඩ හෝ මඩ ඉඩක් තියෙන හැමතැනකම ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන දෙයක් වගා කළ යුතු බව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්ත අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කලේ වත්මන් රජයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ තේමාව යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මඟින් හිමිකම ඔප්පු ප්‍රදානය කිරීමේ තෙවන අදියර මහනුවර දිස්ත්‍රික්කය තුළ ඊයේ (29) දින පැවති අවස්ථාවේ රැස්ව සිටි පිරිස අමතමිණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් හිමිකම ඔප්පු ලාභීන් අමතමින් ඔහු පළ කළ අදහස්,
“අද සින්නක්කර ඔප්පුවක් ලබන ඔබගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. ඉඩම ඉදිරිපිට පාර කොටස සුද්ද කරන්න කියලා මම රටේම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. තමන්ගේ වැට මායිම පාරකට මායිම් වෙලා නම්, තමන්ගේ වැට ළඟ ඉඳන් පාර ළඟට සම්පූර්ණයෙන්ම පිරිසිදුව සුද්ද කරලා ලස්සනට තියන්න. රට ගොඩනඟන්න පුරවැසියෝත් මැදිහත් විය යුතුයි.
දැන් අපි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරගෙන යනවා. අවුරුදු 76කට පස්සේ හොරකම්, වංචා, දූෂණ, මැරකම් නැති දේශපාලන සංස්කෘතියක් හදලා තියෙනවා. මේක කරන්න පුළුවන් වෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ.
රටට අවශ්‍ය කරන කුමන හෝ නිෂ්පාදනයක් තමන්ගේ ඉඩමේ ඉඩ තියෙනවා නම් කරන්න. දැන් අපි වැඩසටහනක් ගෙනල්ලා තියෙනවා, ‘එක මිටට – ගොවි බිමට’ කියලා. ඒකෙන් අදහස් කරන්නේ අර පුරන් කුඹුරු වපුරනවා වගේ කතාවක් නෙවෙයි. වගා නොකර තමන් සතුව තියෙන ඉඩම් තියා ගන්න බැහැ. වගා නොකර පවතින ගොඩ හෝ මඩ ඉඩක් තියෙන හැම තැනකම ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන දෙයක් වගා කළ යුතුයි.
මම යෝජනාවක් කරනවා. අර කුඩා ඉඩම් තියෙන නුවරඑළි පැත්තට යන්න කියලා. මිදුලේ ඉඳන් හදලා තියෙන්නේ ලීක්ස්. පොඩි ඉඩමේ. මහ සීතලේ. වැස්සේ තෙමි තෙමි. පොඩි ඉඩම් කෑලිවල වගා කරලා තියෙනවා. හැබැයි ඉඩම් අක්කර ගණන් අනෙක් ප්‍රදේශවල තියෙනවා. ඒ ඉඩම් නිකන් තියෙන්නේ. නීතියෙන් බලය තියෙනවා, වගා නොකරපු ඉඩම් රජයට පවරාගන්න. පොදු ජනතාවගෙන් ඉල්ලනවා රට ගැනත් හිතලා තමන්ගේ ආර්ථිකය ගැනත් හිතලා මේවා වගා කරන්න කියලා.
වගා කරන්න නොහැකි නම් වගා කළ හැකි කෙනෙකුට එකඟතාවයක් හදාගෙන ක්‍රමවේදයක් හදාගෙන ලබා දෙන්න.
විශාල ආහාර ප්‍රමාණයක් අපි තවම ගේන්නේ පිටරටින්. කෘෂිකාර්මික රටක් කියන්න ලජ්ජයි. තාමත් හාල් ගේන්න වෙලා තියෙනවා පිටරටින්. 2028 අවුරුද්ද වෙනකොට සම්පූර්ණයෙන්ම සහල් පිටරටින් ගේන එක නවත්වන සැලැස්මක තමයි දැන් ඉන්නේ. සමහර හෝටල්වලට අවශ්‍ය බාස්මතී වගේ සහල් පිටරටින් ගේන්න වෙයි. පසුගිය කන්න දෙකේ වී නිෂ්පාදනය රටට හිඟයක් නැතිව කන්න දෙන්න පුළුවන්. මේ වගේ එකින් එක අභියෝග අපි ජය අරගෙන යනවා.
අපි සතුව ඉඩම් වර්ග කිහිපයක් පවතිනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්, ප්‍රාදේශීය ලේකම් භාරයේ පවතින ඉඩම්, මහවැලි ඉඩම් වශයෙන්. හැම දිස්ත්‍රික්කයකින්ම එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් තෝරාගෙන එහි ඉඩම් ප්‍රශ්න විසඳන්න උවමනයි.
හෙට ජාතික වැඩසටහනක් ආරම්භ වෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්නය. අපේ ගම්බිම් හැම තැනක්ම මේකට ගොදුරු වෙලා තියෙන්නේ. ගොදුරු නොවුණු ආයතනයක් නැහැ. සමහර නිලධාරීන් ඒවාට උදව් කරනවා. අපි මතින් තොර ශ්‍රී ලංකාවක් හදා ගත යුතුයි. මේ ප්‍රශ්නය පක්ෂ භේදයක් නැතිව ඉවර කරගන්න සහයෝගය දෙන්න ඕනේ. තොරතුරු දෙන්න ඕනේ අදාළ ආයතනවලට. අන්තිම නරකයි කියපු රාජ්‍ය ආයතනයකට දැන් හොඳ කියමින් එනවා. ඒ තමයි ශ්‍රී ලංකා පොලිසිය. දැන් ජනතාව තුළ මතයක් හැදීගෙන එනවා පොලීසිය හොඳයි කියලා.
අපි බලයට ඇවිත් වෙනත් දේශපාලන පක්ෂවලින් පළි ගත්තේ නැහැ. අපි රාජ්‍ය ආයතනවල නිලධාරීන් එහෙට මෙහෙට දැම්මේ නැහැ. අපි නිලධාරීන්ගෙන් ඉල්ලනවා, ඒකටත් ගෞරවය තියන්න. තාමත් නිලධාරීන් අතර පරණ දේශපාලන සංස්කෘතිය පවත්වගෙන යන අය ඉන්නවා.
ජනතාව තේරුම් ගන්නත් උවමනයි, රජය කියන්නේ එකක්. ආණ්ඩුව කියන්නේ එකක්. ආණ්ඩුව හරි. නමුත් රාජ්‍ය සේවයේ තවමත් තියෙනවා හිරවෙන තැන්. අපි ජනතාවගෙන් ඉල්ලනවා, තමන්ගේ වැඩ කරගන්න කාටවත් සත පහක්වත් දෙන්න එපා. කොතනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් පැමිණිලි කරන්න. ”
මෙම අවස්ථාවට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
@Lanks Truth

