නාමල්ට ජනාධිපති වීමේ හැකියාවක් නැහැ – රෝහණ බණ්ඩාර
(වත්මන් ආණ්ඩුවේ ගමන් මඟ කෙබඳු ද? සජබ සහ එජාපයේ එකඟතාව යනාදී කරුණු කාරණා පිළිබඳව සජබ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සමඟ දිවයින පුවත්පතේ රජිත බස්නායක කළ සාකච්ඡාව පහතින්)
වත්මන් රජය කියන්නේ මේ වෙනකොට රටට සුබදායී විදිහට ඔවුන් තමන්ගේ පාලන ක්‍රමවේදය පවත්වාගෙන යනවා කියලා. මේ ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ ?
කිසිම ආණ්ඩුවක් හිතා මතා වැරදි දේවල් කරයි කියලා මම හිතන්නේ නෑ. නමුත් ආණ්ඩුව යම් යම් තීරණ ගන්නවා, ඒ වගේම ඒවා කරන්නත් උත්සාහ ගන්නවා. ආණ්ඩුවටත්, ජනතාවටත් වැදගත් වෙන්නේ ඒකේ අවසාන ප්රතිඵලයයි. ආණ්ඩුව හොරකම් කරන්නේ නෑ කියනවා, දූෂිත නෑ කියනවා. නමුත්, මේ දේවල්වලින් කිසිම දෙයක් ජනතාවට ලැබිලා නෑනේ. එතැනයි ප්රශ්නය තියෙන්නේ. ආණ්ඩුව හොඳයි කියලා හිතාගෙන කරනවා. ඒත්, ප්‍රතිඵලය ජනතාවට සුබදායී නෑ කියලයි මම විශ්වාස කරන්නේ.
ඔබ එහෙම කියන්නෙ මොන වගේ කරුණු පදනම් කරගෙනද ?
දැන් සෑම ක්ෂේත්රයකම වගේ කඩාවැටීමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය පැත්තෙන් එළවළු ගොවියා, වී ගොවියා හැමදෙනාම අපහසුතාවයට පත්වෙලෙයි ඉන්නේ. වට්ටක්කා, බඩඉරිඟු, බී ලූනු ගොවීන් අසරණයි. එතකොට අනිත් ක්ෂේත්‍ර ගත්තමත් එහෙමයි. සංචාරක කර්මාන්තයේත් මහා ලොකු වර්ධනයක් පේන්න නැහැ. සාර්ථකත්වය දක්වා ගමන් කිරීමක් තවමත් දක්නට නෑ. යෝධ සංවර්ධන ව්‍යාපෘති ගේනවා කිවුවා. නමුත් කිසි දෙයක් ප්‍රායෝගිකව ඉෂ්ට වෙන බවක් පේන්න නෑ.
ඔබට මේ ආණ්ඩුවේ තියෙන දුර්වලතාවන් විදිහට පේන්න තියෙන්නේ මොනවාද ?
ඔවුන්ට පළපුරුද්දක් නැතිකම සහ වගකීම් භාර ගැනීමට ආණ්ඩුව පැත්තෙන් උත්සාහයක් නොගැනීම මම දකින ප්‍රධානම දුර්වලතාවයි. රාජ්‍ය සේවකයන් මත සියල්ල දාලා නිවැරදි වීමට උත්සාහ ගන්නවා. ඒ තුළ රාජ්‍ය සේවකයන් අද මැළිකමක් දක්වනවා වගකීම් භාරගෙන කටයුතු කරන්න. පසුගිය අය වැය බැලුවම පේන්න තියෙන දෙයක් තමයි සමස්ත අය වැය ඉලක්කවලින් 40%කට වඩා ඉහළට යන්න බැරි වෙලා තියෙනවා. එතැනට යන්න නම් රාජ්‍ය යන්ත්‍රණය සහයෝගය දැක්විය යුතුයි.
සහයෝගය දක්වන්න නම් ආණ්ඩුව උපක්රමශීලීව කටයුතු කළ යුතුයි. මේ රටේ රාජ්‍ය සේවකයන් 80%කට කිට්ටු වෙන්න ඡන්දය ලබා දුන්නා. දැන් අද රාජ්‍ය සේවයේ සහයෝගය නැත්තේ සේවකයන් වගකීම් භාර අරගෙන කටයුතු කරන්න තියෙන මැළිකම. ඒ නිසා තමන්ගේ රැකියාවට බලපෑමක් වෙන දේවල් නොකර ඉන්න රාජ්‍ය සේවකයෝ වගබලා ගන්නවා. මේක තමයි ආණ්ඩුව අසාර්ථක වෙන්න බලපාන ප්‍රධාන සාධකය විදිහට මම දකින්නෙ.
ඔබ පක්ෂයේ වැඩ කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමේ සූදානමක් තිබෙනවා කියලා මාධ්‍යෙයන් ප්‍රකාශයට පත්වෙලා තියෙනවා ?
නෑ, ඒක සම්පූර්ණයෙන් වැරදි ප්‍රවෘත්තියක්. අපි ගත්ත තීන්දුවක් තියෙනවා. ඒක කවුරු හෝ හිතාමතා විකෘති කරලා මාධ්‍යට දීලා තියෙනවා. නැත්තනම් මාධ්‍ය විසින් එය විකෘති කරලා පළ කළාද කියන ගැටලුවත් තියෙනවා. අපේම නියෝජිතයකුට නගර සභාවේ ආසනයක් නොලැබීම සම්බන්ධයෙන් පක්ෂයට විරුද්ධත්වය ප්‍රකාශ කරලා මහලේකම්තුමාට, කෘත්‍යාධිකාරී මණ්ඩලයට, නායකතුමාට ලිඛිතව අප එම සිදුවීම දැනුවත් කළා. ඉන් ලැබෙන පිළිතුර මත සාමූහික තීන්දුවක් ගමු කියල තමයි එකඟතාවක් තිබුණේ. ඒ අතරේ පිරිසක් යෝජනා කළා, සාර්ථක පිළිතුරක් ලැබුණේ නැත්නම් දේශපාලන කටයුතුවලින් ඈත්වෙලා ඉමු කියලා. ඒවා යෝජනා කිහිපයක් පමණයි. අපි ඒවා සම්මත කළේ නෑ. නමුත්, අපි ගත්ත තීන්දුව කවුරු හෝ කෙනෙක් හිතාමතා මාධ්‍යයට දීලා තිබුණා රෝහණ බණ්ඩාර දේශපාලනයෙන් ඉවත්වෙනවා කියලා. එතැන තමා වැරැද්ද තියෙන්නේ. අපි තීන්දුවක් ගත්තේ නගර සභාවේ මන්ත්‍රී ධුර පත්කිරීම තුළ යම් අසාධාරණයක් සිදු වෙලා තියෙනවා කියලා පමණයි.
පක්ෂයෙන් කියන්නේ සජිත් ගමට ගිහින් වැඩ කරන්න පුළුවන් බිම් මට්ටමේ නායකයෙක් කියලයි. ඒත්, මෙතැනදී ඔබටත් සවන් දීමක් සිදුවෙලා නෑ වගේ නේද?
සවන් දුන්නා. මෙතුවක් කාලයක් මාස හයකට ආසන්න කාලයක් මන්ත්‍රී ධුර පත් නොකර හිටියෙත් ඔය සවන්දීමේ කාරණාව මත පිහිටලයි. එතකොට නිරන්තරයෙන්, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කිව්වේ පත්නොකර ඉන්න එක ප්‍රශ්නයක්, පත් කරලා ඉවර වෙලා අපි දේශපාලනය ආරම්භ කරන්න ඕනෑ කියන එකයි. ඊට පස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තමා කමිටුවක් යෝජනා කළේ. මන්ත්‍රී ධුර පත්කරන්න කමිටුවට පූර්ණ බලය දුන්නා. ඒක තමයි සිදු වුණේ.
රනිල් වික්‍රමසිංහ සමඟ ඩීල් දාපු පිරිස හෙළි වෙලා තියෙනවා. ඔවුන්ට දැන් තැනක් නැහැ කියලා මැතිවරණයට පෙර ඔබ සඳහන් කළා. ඒ වුණත් එජාපය සහ සජබය අලුත් එකමුතුවක් පටන් ගත්තා. දැන් ඩීල් දාපු අයත් ඉන්නවා නොදාපු අයත් ඉන්නවා. එතකොට මේකේ ඉදිරිය තීරණය වෙන්නේ කොහොමද?
කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟතාවක් සහිතව කණ්ඩායමක් පත් කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය එකතු වෙනවා නම් එකතු වෙන්නේ මොන ආකාරයෙන්ද කියන කරුණු කාරණා සාකච්ඡා කරන්න. ඒ කටයුතු තමයි දැනටමත් සිදු කෙරෙමින් පවතින්නේ. ගිය බදාදා කමිටු වාර්තා භාර දුන්නා. අපි තාම දන්නේ නෑ කමිටුවේ වාර්තා මොනවද එතැනින් ඉස්සරහට ගන්න තීරණය මොකක්ද කියලා. පක්ෂ දෙක එකතුවිය යුතුයි කියන එක සම්බන්ධයෙන් බිම් මට්ටමේ මතවාදයක් ඇතිවෙලා තියෙනවා. පසුගිය මැතිවරණයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ලබාගත්ත ඡන්ද ප්‍රමාණය බැලුවාම අපි දෙගොල්ල එකතුවෙලා හිටියා නම් ජයග්‍රහණය කරනවා කියන මතවාදය සමාජය තුළ ඇති වුණා. එය ක්‍රමානුකූලව වර්ධනය වෙලා දෙගොල්ල එකතු විය යුතුයි කියන මතවාදය ආවා. ජනතාවට සවන් දෙන ප්රජාතන්ත්රවාදී පක්ෂයක් නිසා ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අපි තීරණය කරලා තියෙනවා. අපි හැමෝම මේ එකතුවීම බලාපොරොත්තු වෙනවා. සමගි ජන බලවේගයේ බහුතරයක් මේ පිළිබඳ බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ ප්‍රධාන පක්ෂ දෙකක්නේ එකතු වෙන්නේ. එතකොට ප්‍රයෝගික ගැටලු තියෙනවා. අපි තමා මාලිමාව ගාවට තියෙන ප්‍රධාන බලවේගය. එජාපය 3%ක් තියෙන පක්ෂයක්. එතකොට අපි වටා තමා මේක එකතුවෙන්න ඕන. නැත්නම් සන්ධානයක් විදිහට එකතුවෙන්න ඕනෑ. එහෙම නැත්නම් අපි එජාපයට ගිහිල්ලා හෝ එජාපය අපි ළඟට ඇවිල්ලා එකතුවෙන්න ඕනෑ. මේකෙදී කෝටා එකක් තියෙනවා බෙදාගන්න. පාර්ලිමේන්තු මැතිවරණයක් නම් වෙන්නේ අනුපාතයක් හදාගන්න. එතකොට අපි බෙදාගන්න ඕන සජබයට කීයද එජාපයට කීයද කියලා. ඔය කියන කරුණු කාරණා සහ අපි එකතු වෙන්නේ මොනවා පදනම් කරගෙනද කියන සියල්ල ගළපාගෙන සියල්ල සාර්ථක කරගැනීම තමයි සාකච්ඡාවල පරමාර්ථය වෙලා තියෙන්නේ.
ප්‍රධාන විපක්ෂය විදිහට අපිට තියෙන කොටස ආරක්ෂා කර ගන්න පුළුවන් විදිහට යෝජනා එකතු වුණොත් මේ එකතුවීම කර ගන්නට අපිට පුළුවන්කම ලැබෙයි. යම්කිසි විදිහකින් ඒ විදිහට සිදු නොවුණොත් සමහරවිට අසාර්ථක වෙන්නත් පුළුවන්. මැතිවරණයක් කලඑළි බැස්සම හිතාගන්න පුළුවන් අපි එකතු වෙනවද නැද්ද කියන කාරණාව.
ඔබ 2012 වසරේදී එජාපයෙන් ඡන්දෙ ඉල්ලුවා. 2020 වෙනකොට සජබයෙන් ඡන්දෙ ඉල්ලනවා. මේ එකමුතුවත් සමඟ ඔබට හිතෙන්නේ නැද්ද හිටිය තැනටම නැවත යනවා වගේ හැඟීමක්?
සමගි ජන බලවේගයට ආවා කියලා පක්ෂය දාලා ගියා කියලා හැඟීමක් අපි කාටවත්ම වෙලා නෑ. මොකද එජාපයේ බහුතරය සජබයට එකතුවෙලයි හිටියේ. අනුරාධපුර දිස්ත්‍රික්කය ගත්තම හැරිසන් ඇමැතිතුමා, චන්ද්‍රානි බණ්ඩාරනායක මැතිනිය, චන්දිම ගමගේ මැතිතුමා ඇතුළු සමස්තයම පාර්ලිමේන්තුව නියෝජනය කරපු ආසන සංවිධායකවරුන් සියලුදෙනාම ඒ මොහොතේ සජබය සමඟ එකතු වුණා. එතකොට එජාපයෙන් ඉල්ලනවා වගේ හැඟීමක් අපට තිබුණේ. අද වුණත් අපේ දිස්ත්‍රික්කයේ නම් එකතු වුණා කියලා වෙනස් වෙන්න දෙයක් නෑ. එකතු වුණත් නොවුණත් අපි හිටිය කඳවුර තමා ඒක.
පොදුජන පෙරමුණ නිරන්තරයෙන් සඳහන් කරන දෙයක් තමයි නාමල් රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරයා කියලා. එයින් අදහස් වෙන්නේ සමගි ජන බලවේගයට අවස්ථාවක් නෑ කියලා නේද?
ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර ජනාධිපතිවරණවලට තරග කරනකොට කවදාවත් කිව්වද එයාලා පරාද වෙනවා කියලා. නෑනේ, ඔවුන් කිව්වේම ජයග්‍රහණය කරනවා කියලා. ඉතින් මෙතනත් එහෙම තමයි. කවදාවත් කියනවාද තමන් තමා පරාද වෙන්නෙ කියලා. ජයග්‍රහණය කරනවා කියලා තමයි කියන්නේ. මම නම් හිතන්නේ නාමල්ට මීළඟ ජනාධිපතිවරයා වීමේ අවස්ථාවක් නෑ. ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙන්නේ සජිත් ප්‍රේමදාසට. පොහොට්ටුවේ ජනාධිපතිවරයෙක් බිහිවෙන කාලයක් නෙවෙයි මේක. පොහොට්ටුවේ ඡන්ද ප්‍රමාණයේ යම් වර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් නාමල් ජනාධිපතිවරයා වීමට තවම කාලය නෙවෙයි.
කොහොම වුණත් තමන්ගේ දේශපාලන බලය වැඩිදියුණු කරගැනීමේ අරමුණින් ඔහු කොරියාවට පවා ගියා?
ඔව්, මම ඒ ගැන වැඩි විස්තරයක් නම් දන්නේ නෑ. මම දන්නෙත් සෝෂල් මීඩියාවල ගියපු දේවල් තමයි. ඒක අසාර්ථක වෙලා තියෙනවා කියලත් දැක්කා.
@දිනමිණ

