යෝෂිත ඩේසි නඩුව දෙසැ. 10 කැඳවයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 10 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (29) නියෝග කළේය.
මෙම නඩුව ඊයේ (29) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ ලේඛන සියල්ල විත්තියට භාරදී තිබෙන බවත්, ඒ අනුව මෙම නඩුව විභාගය සඳහා දින නියම කිරීමට හැකියාව තිබෙන බවත්, සඳහන් කර සිටියේය.
එම අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන කිහිපයක් ලැබීමට නියමිතව තිබෙන බවත්, ඉන් අනතුරුව මෙම නඩුකරයට අදාළ පිළිගැනීම් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්, ප්‍රකාශ කළේය.
2009 වසරේ මාර්තු මස 31 වැනිදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වැනිදා අතර කාලසීමාව තුළ නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනු කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

