විෂ මත්ද්‍රව්‍ය අභියෝගයට මුහුණ දීමට සූදානම් – ජනපති
විෂ මත්ද්‍රව්‍යවලට එරෙහි පුළුල්ම මහජන ව්‍යාපාරය ගොඩනඟමින්, නියත වශයෙන්ම විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දමා අනාගත පරපුරත්, සමාජයත් ඉන් ගලවා ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම සමාරම්භක අවස්ථාවට අද (30) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එක්වෙමිනි.
පාසල් දරුවන්ගේ සහ තරුණ ප්‍රජාවගේ ජිවිත බිලි ගනිමින් රටේ ආර්ථිකයත්, සමාජයත් විනාශ කරන ජාතික ව්‍යසනයක් වී ඇති විෂ මත්ද්‍රව්‍ය ජාවාරමට තවදුරටත් ඉඩ තැබීමට තම රජය සූදානම් නොමැති බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම, පුනරුත්ථාපනය, නිවාරණය, මහජන තෙරපුම, ආගම, ක්‍රීඩාව සහ සංස්කෘතිය යන සියලු ක්ෂේත්‍ර එක් කර ගනිමින් බහුවිධ වැඩසටහනක් ඔස්සේ “රටම එකට‘ ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවා තිබෙන බවද පැවසීය.
මත්ද්‍රව්‍ය ව්‍යසනය ස්වභාවිකව නිර්මාණය වූවක් නොව, එය දිගු කලක් පුරා දේශපාලනඥයන්ගේ සහ ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේ ආශිර්වාදයෙන් නිර්මාණය වූවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, දේශපාලන රශ්මි කදම්භය හමුවේ ආරෝපිත බලයක් නිර්මාණය කර ගැනීමට අපරාධකරුවන්ට ඇති අවස්ථාව වත්මන් රජය අවසන් කර තිබෙන බැවින් සියලු සබඳතා අවසන් කර එම ජාලයෙන් ඉවත් වෙන ලෙස ඊට අනුබල දෙන රාජ්‍ය නිලධාරීන්ට තමා පවසන බව සඳහන් කළේය. මෙම ජාවාරමට සම්බන්ධ කිසිවෙකුට තවදුරටත් සැඟ වී සිටීමට අවස්ථාවක් නොමැති බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම ගම සහ ආගමික ස්ථාන අතර පවතින සංස්කෘතික සබැඳියාව භාවිතයට ගනිමින් මෙම උවදුර පිටුදැකීමට පෙරමුණ ගන්නා ලෙස ආගමික නායකයන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා, මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු පුවත් වාර්තාකරණයේදී හික්මීම සහ ශිෂ්ට සම්පන්න බව ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන ලෙස සියලු මාධ්‍ය ආයතනවලින්ද ඉල්ලා සිටියේය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය වෙනුවෙන් ඉදිරි අයවැයෙන් වැඩි මුදලක් වෙන් කරන බවත්, ඒ වෙනුවෙන් සියලු පාර්ශ්ව එක් කර ගනිමින් ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
මෙරට විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති අතර, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කරගෙන බොහෝ අපරාධ සිදු වන බවද නිරීක්ෂණය වී තිබේ. කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන්ම, පුළුල් මහජන සහභාගීත්වයක් සහිත ජාතික මට්ටමේ වැඩසටහනක් මගින් එකී උවදුර මුලිනුපුටා දැමීම සිදු කළ යුතු බව රජය මේ වන විට හඳුනාගෙන තිබෙන අතර, එකී ජාතික අරමුණ ළගා කර ගැනීම සඳහා ‘රටම එකට’ ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවා තිබේ.
මෙම වැඩසටහන යටතේ පුළුල් ප්‍රචාරණ ක්‍රියාවලියක් හරහා සමාජය මෙම උවදුර සම්බන්ධයෙන් දැනුවත් කිරීම, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ බැඳුණු ජාලය බිඳ දැමීම, පුනරුත්ථාපන අවස්ථා බලගැන්වීම, භාවිතයෙන් ඉවත් වීමට කැමති අය සඳහා අවස්ථාව ලබා දීම අපේක්ෂා කෙරේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
අප අද එක් රැස් වී සිටින්නේ අපේ රට වෙළාගෙන තිබෙන මායාකාරී ව්‍යසනය පරාජයට පත් කිරීමේ අරමුණින්. අප දන්නවා මේ ව්‍යසනය මොන තරම් ගැඹුරුද, මොන තරම් විනාශකාරීද කියලා. අපේ දරු පරම්පරාව, පොදු සමාජය මෙන්ම අපි ජාතියක් ලෙස මෙම මායාකාරි ව්‍යසනයේ ගොදුරු බවට පත් වී තිබෙනවා. මෙය මේ මොහොතේ ඇති වූ අභියෝගයක් නොවේ. දශක ගණනාවක් ක්‍රමිකව වර්ධනය වූ මෙම අභියෝගය අද මුළු සමාජ දේහයම ගිල ගෙන තිබෙනවා.මේ මංසන්ධියේදී නිශ්චිත ලෙස අපට තෝරා ගත හැකි මාවත් දෙකක් තිබෙනවා. එකක් පැරණි දේ ඒ අයුරින්ම සිදු වීමට ඉඩ දී පාඩුවේ සිටිමයි. එසේ නොමැති නම් මීට එරෙහිව හැප්පීමයි. මමත්, අපේ ආණ්ඩුවත් මේකට එරෙහිව හැප්පීමට තීරණය කර තිබෙනවා.
මේ ව්‍යසනය අපේ දරු පරම්පරාව ගිල ගනිමින් තිබෙනවා. අපේ රටේ බන්ධනාගාරගත වන අයගෙන් 64%ක් මත්ද්‍රව්‍ය සහ සම්බන්ධ වැරදිවලට හසු වූ අයයි. ඒ වගේම දරුවන්ගේ මුළු අනාගතයම විනාශ කරමින් සිටිනවා. වයස අවුරුදු 18ත් 24ත් අතර හිරිමල් වයසේ සිටින තරුණ පරම්පරාව මෙහි විශාලතම ගොදුර බවට පත්ව තිබෙනවා. ඔවුන්ගේ අනාගතය, අපේක්ෂා මහමඟ විනාශ වෙමින් තිබෙනවා. ඒ නිසා අපිට බලාගෙන සිටීමට අයිතියක් නැහැ. එම සෑම දරුවෙකුටම අම්මෙක්, තාත්තෙක් ඉන්නවා. ඒ දරුවා බිහි වන මොහොතේදී ඒ හැම අම්මා තාත්තා කෙනෙක් තුළම විශාල අපේක්ෂාවක් තිබුණා. හැබැයි, අද තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ දරුවා විනාශ වෙමින් සිටිනවා. ඔවුන් එම වේදනාවෙන් පෙළෙනවා. අපවාදයට ලක් වී සිටිනවා. පවුලක මුළු සමගිය පැවැත්ම විනාශ වෙමින් තිබෙනවා. ස්වාමියා මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම පවුලේ විශාලතම ඛේදවාචකය වී තිබෙනවා.
ඒ නිසා මුළු පවුල් සංස්ථාවේ පැවැත්ම බිඳ වැටීමේ තර්ජනයක් මේ හමුවේ තිබෙනවා. අනෙක් පසින් ගම් නියම්ගම් කරා මෙම මායාකාරී කුණාටුව පැතිරෙමින් තිබෙනවා. ගම් තුළ අපරාධ රාජ්‍යයක් නිර්මාණය වෙමින් තිබෙනවා. එපමණක් නොවෙයි, එය මුළු සමාජයම ගිල ගෙන තිබෙනවා. අද අපේ රටේ මාර්ග අනතුරුවලින් විශාල ප්‍රමාණයක් මේ මත්ද්‍රව්‍ය හා බැඳුණු මාර්ග අනතුරු. අපේ රටේ ළමා සහ කාන්තා අපචාරවල විශාලතම කොටස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් නිසා සිදු වන දේවල්.
ඒ වගේම රටේ ආර්ථිකයේ විශාල බිඳ වැටීමක් තිබෙනවා. කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සපයන්න පොලිස් විශේෂ කාර්යසාධක බලකාය යෙදවීමට සිදුව තිබෙනවා. ඒ එහි විදුලි ආලෝකය ලබා දෙන රැහැන් කපාගෙන යන නිසා. අලි වැටේ තිබෙන බැටරිය ගලවාගෙන යනවා. පාලම්, බෝක්කුවල යකඩ වැට කපාගෙන යනවා. මුළු සමාජය තුළම මෙම ඛේදවාචකය නිසා අස්ථාවරත්වය නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා සමාජයේ ස්ථාවරභාවය සහ සාමකාමීත්වය වෙනුවෙන්, සෑම දරුවෙකුගේම, සෑම කාන්තාවකගේම, පොදු සමාජයේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් මෙය පරාජයට පත් කළ යුතුයි. ඒ නිසා අප තබන ලද මෙම පියවර සහතික වශයෙන්ම ජයග්‍රහණය කරවා මෙම ව්‍යසනය පරාජය කරනවා.
මේ හා බැඳුණු විශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වෙනවා. විශාල මුදලකට මත්ද්‍රව්‍ය අළෙවි වෙනවා. අද අත්අඩංගුවට ගන්නා ප්‍රමාණයෙන් අපට අවබෝධ කර ගත හැකි සපයන ප්‍රමාණය කොතරම් විශාලද යන්න. මේ සමඟ විශාල මුදල් සම්භාරයක් ගොඩනැඟී තිබෙනවා. මහා කළු ව්‍යාපාරයක් ගොඩනඟන ජාවාරමක් බවට මේ ව්‍යසනය පත්ව තිබෙනවා. ඒ නිසා ඔවුන් අතර වෙළෙඳපොළ බෙදා ගැනීම සඳහා ගැටුම් නිර්මාණය වී තිබෙනවා. මෑත කාලයේ සිදු වූ වෙඩි තැබීම් සියල්ල එක් එක් කණ්ඩායම් අතර සිදු වූ ගැටුම්වල ප්‍රතිඵල බව නිරීක්ෂණය වී තිබෙනවා.
ඒ තරම් වෙඩි උණ්ඩ, ගිනි අවි, වෙඩි තැබීමේ අවස්ථා නිර්මාණය වුණේ කොහොමද? අපි දන්නවා සාමාන්‍ය සමාජයක යහපැවැත්ම වෙනුවෙන්, රටක ආරක්ෂාව වෙනුවෙන් ගොඩනැගුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. හැබැයි, මූල්‍ය බලය මේ රාජ්‍ය යාන්ත්‍රණය ආක්‍රමණය කර තිබෙනවා. මේවා තවදුරටත් සඟවමින් අපිට මේ තත්ත්වයට මුහුණ දෙන්න බැහැ.
බලපත්‍ර සහිත ගිනි අවි ළඟ තබා ගැනීමේ බලය තිබෙන්නේ රාජ්‍යයකට. එම ගිනි අවි අපරාධකරුවන් අතට ගියේ කොහොමද? ඇතැම් හමුදා කඳවුරකින් ටී56 ගිනි අවි 73ක් ඒ අය අතට ගිහින් තිබෙනවා. ඒ වගේම, ඒ සඳහා අවශ්‍ය උණ්ඩ සපයා තිබෙනවා. ඒ වෙනුවෙන් බැංකු ගිණුම්වලට මුදල් ලැබී තිබෙනවා. එක් පොලිස් නිලධාරියෙක් තමන්ගේ ගිනි අවිය විකුණා පැන යනවා. මේ විදියට මුදල් බලය රාජ්‍ය යාන්ත්‍රණය ගිලගෙන තිබෙනවා.
පොලීසිය, ත්‍රිවිධ හමුදාව මෙය වැළැක්වීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කරනවා. හැබැයි, අතළොස්සක් මුදල් බලය හමුවේ ඔවුන්ට ගොදුරු වී තිබෙනවා. ඒ නිසා රාජ්‍යයේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩනඟා තිබෙන ආයතන ඇතුළෙහි කළු රාජ්‍යයක් නිර්මාණය වී තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුව වාහන නැතිව අංක තහඩු නිකුත් කර තිබෙනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉතා වැදගත් දෙපාර්තමේන්තුවක්. සෑම පුරවැසියෙකු වෙනුවෙන්ම නීත්‍යානුකූල ගමන් බලපත්‍රයක් නිකුත් කරමින් රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් කාර්යයක් ඉටු කිරීමට තිබෙන ආයතනයක්. ඇතැම් නිලධාරින් පාතාල නායකයන්ට ගමන් බලපත්‍ර දෙක, තුන සකස් කර දී තිබෙනවා. ඒ වගේම රේගුවේ සබඳතා අනාවරණය වී තිබෙනවා.
ඒ නිසා අපිට නිල රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා වගේම, ඊට යටින් ඒ තරම් ප්‍රබල නොවූවත් ඔවුන්ට අවශ්‍ය දේ සපුරා ගැනීම සඳහා අවශ්‍ය වන රාජ්‍ය යාන්ත්‍රණයක් අත්පත් කරගෙන තිබෙනවා. මේ රටේ රාජ්‍යයන් දෙකක් තිබෙන්න බැහැ. තිබිය හැක්කේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී බලය විසින් පිහිටුවන ලද රාජ්‍ය පමණයි. කළු රාජ්‍ය අවසන් කළ යුතුයි.
මෙය දැන් දේශපාලන පක්ෂ තුළට පැමිණ තිබෙනවා. මන්ත්‍රීවරු වෙනවා, සභාපතිවරු වෙනවා. ඇතැම් අය වෙනම ලේඛන හදලා මැතිවරණවලට ඉන්නවා. එක යුගයකදී දේශපාලකයන්ගේ ආරක්ෂාව මැද මෙය වර්ධනය වුණා. දේශපාලන ආධිපත්‍යය, මන්ත්‍රීවරු, ආණ්ඩුවක්, පාලනයක් පිහිටුවා ගැනීම දක්වා අවශ්‍ය මූලික බීජ දැන් රෝපණය වී තිබෙනවා. අපි ඒවා හඳුනාගෙන තිබෙනවා. මෙය ස්වභාවිකව නිර්මාණය වූවක් නොවෙයි. දිගු කාලයක් පුරා දේශපාලකයන්ගේ සහ ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේ ආශිර්වාදයෙන් නිර්මාණය වූවක්.
අද ජනතාව මේ ජාලයෙන් ඉවත් වීමට බියක් දක්වනවා. එයින් ඉවත් වුවහොත් වෙඩි තබා මරා දමනවා. එතරම් භයංකර තත්ත්වයකට සමාජය පත් කර තිබෙනවා. මෙය ස්වභාවිකව ඇති වූවක් නොවෙයි. මේ පිටුපස ඉතා පැහැදිලි ලෙස දේශපාලන ආශිර්වාදයක් තිබුණා. ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේ ආශිර්වාදය ලැබුණා. ඇතැම් අයට එම රැකියාවෙන් එම දේපළ උපයාගත නොහැකි බව අපි දන්නවා. එය සියලු දෙනාට පේනවා. දැන් අපි මෙය අවසන් කිරීමේ තීරණාත්මක හෝරාවට පැමිණිය යුතුයි. අද බොහෝ අය කියනවා මේ රජය මේක කරන්නේ නැත්නම් වෙන කවුරුත් කරන්නේ නැහැ කියලා. අද මෙය අම්මාවරුන්ගේ ආයාචනයක් වී තිබෙනවා. ඒ නිසා මේ කාර්යය අපිට කළ හැකියි, කළ යුතුයි කියා මහා බලාපොරොත්තුවකින් සිටිනවා.
ඒ වෙනුවෙන් අපේ පොලිස් දෙපාර්තමේන්තුව කැප වී කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අපි පොලිසිය සූදානම් කරනවා. අපි අනිත් නිලධාරීන්ටත් කියන්නේ වහාම එම ජාලයෙන් ඉවත් වෙන්න. ඔබේ රැකියාවේ සුරක්ෂිතභාවය, ගෞරවය, තනතුරේ වටිනාකම ආරක්ෂා කර ගෙන ඉදිරියට යන්න, වහාම මෙම කාර්යවලින් ඉවත් වෙන්න. නැත්නම් අපි ඉවත් කරනවා. ඒ වගේම නීතිය පිළිබඳ ගෞරවයට පාත්‍ර වූ ස්ථාන දක්වා මෙය පැතිර තිබෙනවා. මම ඒ සියලුදෙනාට කියනවා තවදුරටත් ඒ කිසිවෙකු සැඟ වී නැහැ. අපි ඒ සියල්ල දන්නවා. ඒ බව විතරක් මතක තබා ගන්න. අද මේ සත්‍යය අපි ඉදිරිපිට තිබෙනවා. ඒ නිසා ඔබ වහාම ඉවත් වෙන්න.
ඒ වගේම, මේ මත් ද්‍රව්‍යවලට ලොල් වූ අයට අපි කියන්නේ වහාම ඔබ මත් ද්‍රව්‍ය පරිහරණයෙන් ඉවත් වෙන්න. අපි ඔබව බලාගන්න සූදානම්. තනි තනිව ගතහොත් අපේ කිසිදු දරුවෙකු මීට වගකිව යුතු නැහැ. ආර්ථික ප්‍රශ්න සහ සංගීතය, ක්‍රීඩාව ඇතුළු කිසිදු වින්දනයක් නොමැතිව එකම වින්දනය මත් වී සිටීමයි කියා ඊට ඇබ්බැහි වූ අය සිතනවා. එය ඔහුගේ වරදක් නොවෙයි. අද අපිට ක්‍රීඩා සංස්කෘතියක් නැහැ. මීට දශක කිහිපයකට පෙර එම සංස්කෘතිය තිබුණා.
ගමේ දරුවන් එක් ව ක්‍රීඩා කළා. අද ක්‍රීඩාව තිබුණත් පොදු මහජනයා සංස්කෘතික වශයෙන් ඊට බද්ධ වී නැහැ. ඒ නිසා අපි තරුණයන්ට දොස් පවරා සිටීමෙන් ඵලක් නැහැ. අපි ඔවුන් වෙනුවෙන් නව ක්‍රීඩා සංස්කෘතියක්, රසවින්දනය පිළිබඳ කලාපයක්, ගීතය, සාහිත්‍ය සමාජ බැඳීම පිළිබඳ සංඥා ලබා දිය යුතුයි. අපි ඒ සඳහා විශාල වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම මීට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අපේ වගකිමක්. දැනටමත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ගොඩනඟා තිබෙනවා. අපි දෙමාපියන්ට ආරාධනා කරනවා තමන්ගේ දරුවා ගෙනත් භාර දෙන්න. අපි ඔවුන් එම ඇබ්බැහියෙන් මුදවා ගෙන යහපත් පුරවැසියන් ලෙස යළි ඔබට භාර දෙන්නම්. අපි ඒ වෙනුවෙන් ඉදිරි අයවැයෙන් විශාල මුදලක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. අපි ඒ වෙනුවෙන් පහසුකම් වර්ධනය කරනවා. ඒ නිසා ඊට ඇබ්බැහි වූවන් කිසිවෙකු එයින් මිදීමට බිය විය යුතු නැහැ.
ඒ වගේම අළෙවි කරන අය යටත් වෙන්න. අපේ පොලීසිය, හමුදාව සහ මීට අදාළ ආයතන සියල්ල ඒකාබද්ධ කරගෙන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ගොඩනඟනවා. රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පොලීසිය, හමුදාව, බුද්ධි අංශය මේ සියල්ල එක් කර ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කරනවා. ඒ නිසා කිසිවෙකුට තවදුරටත් සැඟ වී සිටීමට හැකියාවක් නැහැ. අපි සියලුදෙනා හදුනාගෙන තිබෙනවා. ඉන්න තැන් දන්නවා. අපි නිරන්තරයෙන් මේ පිළිබඳ සාකච්ඡා කරමින් වැටලීම් සිදු කරනවා. අපේ රට, අපේ දරුවන්, අපේ සමාජය මේ ඉතා කුඩා කල්ලියක ගොදුරු බවට පත් වීමට ඉඩ දෙනවා නම් අපි කවුද? මතක තබා ගන්න. මේක ඒ අයට ගිය රට නොවන බව.
මෙම කාර්යයට අපේ මහා සංඝරත්නය, අනෙකුත් ආගමික පූජකවරු එකතු කරගත් මෙහෙයුමක් ගැන අපි සාකච්ඡා කර තිබෙනවා. ගම සහ ආගමික ස්ථාන අතර සබැඳියාව මෙම ව්‍යසනයට එරෙහි ප්‍රධාන අවියක් ලෙස අපි භාවිතයට ගත යුතුයි. ඔබ වහන්සේලා මේ පණිවිඩය සමාජයට ලබා දීමට මැදිහත් වෙන්න. මෙයින් සමාජය මුදවා ගැනීම සඳහා අපි පොර බදමු.
ඒ වගේම මාධ්‍ය, මීට අදාළ වාර්තාකරණයේදී අවශ්‍ය හික්මීම සහ ශිෂ්ට බව ආරක්ෂා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එපමණක් නොවේ. මේ ව්‍යසනය පිළිබඳ සමාජයට ගෙන යා හැකි පණිවිඩයක් ඔබට තිබෙනවා. ඒ නිසා මෙම මෙහෙයුම වෙනුවෙන් මාධ්‍ය ලබා දෙන සහායට අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.
දැනටමත් මෙම පුනරත්ථාපන ක්‍රියාවලිය සමග විවිධ බහුජන සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන සිටිනවා. ඔවුන්ට පවතින හැකියාව අනුව මේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දෙමින් මෙම පුනරුත්ථාපන ක්‍රියාවලියේ සිටින සියලු බහුජන සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධ කරගෙන මේ වැඩසටහන දියත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අපි ඔවුන්ට ආරාධනා කරනවා.
ඒ අනුව, මේ ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ වැදගත්ම කාර්යය දේශපාලන අධිකාරියට පැවරෙනවා. දේශපාලඥයන්ගේ රශ්මි කදම්භය, ඔහුගේ බල කවයට ඇතුළු වීම, ඔහුගේ සමීපතම මිතුරෙකු වී එකට ගැවසීම තුළින් ආරෝපිත බලයක් එනවා. මේ සංවිධානාත්මක අපරාධකරුවන් සතුව තිබෙන ආරෝපිත බලය පරික්ෂණ අඩපණ කරනවා. පරීක්ෂණ සිදු වන විට මහ මඟ වෙඩි තබා ඝාතනය කරනවා.
අපේ දේශපාලන බලය තුළ කිසිදු ආරෝපිත බලයක් නිර්මාණය කරන්නේ නැහැ. එය ආකර්ෂණය කරනවා වෙනුවට විකර්ෂණය කරනවා. එය තමයි තිබෙන ප්‍රධානම හැරවුම. අපේ පොලීසිය දක්ෂයි. ඕනෑම ආන්දෝලනයකට තුඩු දෙන අවස්ථාවක් ඉතා හොඳින් පරික්ෂණ කර, කෙටි කාලයක් තුළ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන යාමට අපේ පොලිස් දෙපාර්ත්මේන්තුව සමත් වී තිබෙනවා. ඔවුන්ට හොඳ ඉවක් තිබෙනවා. අපේ රටේ නොවිසදුණු සෑම අපරාධයක් පිටුපසම දේශපාලන ආරක්ෂාව තිබෙනවා. එය පොලීසියේ අදක්ෂතාව නොවෙයි.
ඒ නිසා පොලීසියට සහ අදාළ ආයතනවලට නිසි බලය ලබා දෙනවා නම් මෙය පරාජය කළ හැකියි. එය ලබා නොදුන්නේ දේශපාලන අධිකාරියයි. මම මේ කියන්නේ දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරවයි. මත්ද්‍රව්‍ය සහ පාතාලය වර්ධනය වුණේ එලෙසයි. ඒ නිසා ඔවුන්ගේ පළමු බලය වූ දේශපාලන බලය දැන් අවසන් කර තිබෙනවා.
අද ශ්‍රී ලංකා පොලීසිය විශාල අවදානමක් ගෙන මෙම මෙහෙයුම දියත් කිරීම සඳහා බැඳි සිටිනවා. එවිට පොලිසියේ අය අපරාධකරුවන්ගේ සතුරා වී තිබෙනවා. ඔවුන්ට එරෙහිව නඟන හඬින් අපට අවබෝධ කර ගත හැකියි මේ කාර්යය පිටුපස සිටින්නේ කවුද කියන එක. ඒ නිසා ස්වාධීනත්වය දෙන්නම්, බලය දෙන්නම්, අපි මේක අවසන් කරමු.
මීට ජනතාව සම්බන්ධ විය යුතුයි. මේ ජාවාරම් ඔබට රහසක් නොවෙයි. විකුණන කෙනා. තොග වෙළෙන්දා හඳුනනවා. එහෙත් බයයි. මීට එරෙහිව ප්‍රබල ජනතා හඬක් අවශ්‍යයි. අපරාධකරුවා ගමේ හුදෙකලා විය යුතුයි. ඒ නිසා ඉහළ සිට පහළට විහිදුණු මහජන හඬක් අපි ගොඩනඟනවා. ඒ වෙනුවෙන් දැනටමත් මහජන ආරක්ෂක කමිටු ගොඩනඟා තිබෙනවා. මේ ජනතා හඬ මේ ව්‍යාපාරයට එක් විය යුතුයි.
අපි මෙය දියත් කර තිබෙන්නේ බහුවිධ ආකාරයකින්. අත්අඩංගුවට ගැනීම, පුනරුත්ථාපනය, නිවාරණය, මහජන තෙරපුම, ක්‍රීඩාව සහ සංස්කෘතිය මේ සියලු ක්ෂේත්‍ර එකට එක්විය යුතු අවස්ථාවක් මේක. මේ ව්‍යසනයට එරෙහිව තනි පුද්ගලයෙකු වශයෙන් මොන තරම් අභිලාෂයක් තිබුණද, තනිව මෙය කළ නොහැකියි. මේ සඳහා අපි සියලුදෙනා එක්විය යුතුයි.
අපි අවසාන වශයෙන් කියන්නේ අළෙවි කරන අයටයි, ඇබ්බැහි වූ අයටයි, වහාම ඉවත් වෙන්න. ඊට එරෙහි මහජන ව්‍යාපාරය අපි දැන් ගොඩනඟමින් තිබෙනවා. එම මහජන ව්‍යාපාරය අනිවාර්යයෙන්ම මෙම මායාකාරී කුණාටුව විනාශ කරනවා. අපි මේ මායාකාරී කුණාටුවෙන් අපේ දරු පරපුරත්, සමාජයත් ගලවා ගන්නවා. ඒ වෙනුවෙන් අපි එකට එක් වෙමු.
මල්වතු අස්ගිරි අනුනායක හිමිපාණන් වහන්සේ ප්රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, කතෝලික, හින්දු සහ ඉස්ලාම් පූජකවරුද, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු මැති ඇමතිවරුද,ආණ්ඩුකාරවරුද, විදෙස් තානාපතිවරුන්,මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයෝද, ජනාධිපති ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහුද, ආරක්ෂක අංශ ප්‍රධානීන්, විද්වතුන්, කලාකරුවන්, ක්‍රීඩකයන් සහ පාසල් දරුවන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

