Latestවිදේශීය

චීන ඇමරිකා තීරු බදු යුද්ධය අවසන් කිරීමට නායකයෝ එකඟවෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂි ජින්පින් අතර දකුණු කොරියාවේ පැවති සාකච්ඡාවේදී කරුණු රැසකට දෙපාර්ශ්වයෙන්ම එකඟතාව පළ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු කොරියාවේ බුසාන් නුවරදී පැවති එම සාකච්ඡාවේදී ලබන නොවැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි චීනයට පනවනු ලැබූ 100%ක අතිරේක තීරුබදු ඉවත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟතාව පළ කර ඇති අතර, අමෙරිකාවට අපනයනය කරනු ලබන දුර්ලභ ඛනිජ වර්ගවලට පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට චීන ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. දෙරට අතර තීරුබදු යුද්ධයට බලපෑ තවත් බාධා කිහිපයක් ඉවත් කිරීමට රාජ්‍ය නායකයන් දෙදෙනාම එකඟ වී ඇතැයි ද වාර්තා වේ. දෙදෙනා අතර පැවති සාකච්ඡාවට දෙපාර්ශ්වයෙන්ම 7 දෙනකු බැගින් සමන්විත නියෝජිත කණ්ඩායම් දෙකක් ද සහභාගි වී ඇති අතර, ඊට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙන්ට්, වාණිජ ලේකම් හොවාර් ලුට්නික්, චීනයේ අමෙරිකානු තානාපති ඩේවිඩ් පර්ඩියු, චීන විදේශ ඇමැති වැං යී, නියෝජ්‍ය විදේශ ඇමැති මා ෂඕක්ෂු, උප අගමැති හී ලිෆෙංග් සහ වාණිජ ඇමැති වැංග් වෙන්ටාඕ ඇතුළු පිරිසක් ඇතුළත් වූ බව වාර්තා වේ.

එම සාකච්ඡාව අතරතුර කිසිදු වෙළෙඳ ගිවිසුමකට අත්සන් කර නොතිබුණු අතර, රාජ්‍ය නායකයන් දෙදෙනා නිහඬව ඔවුනොවුන්ගේ ගමනාන්ත කරා පිටත් වූයේ ජාත්‍යන්තරයේ කුතුහලය අවුස්සා තබමිනි.

එහෙත් සැලසුම් කළ කාලසීමාව ඉක්මවා ගොස් පැයකුත්, මිනිත්තු 40ක කාලයක් පැවති එම සාකච්ඡාවේදී අමෙරිකාවට සහ චීනයට මෙන්ම පොදුවේ ගෝලීය ආර්ථිකයට ද අතිශය වැදගත් තීන්දුවලට රාජ්‍ය නායකයන් දෙදෙනාගේ එකඟතාව පළවී තිබිණි.

එම සාකච්ඡාව අතරතුරදී චීන ජනාධිපතිවරයා විසින් අමෙරිකානු ජනාධිපතිවරයාට චීනයේ සංචාරයකට එක්වන ලෙස ඇරයුම් කර ඇති අතර, සාකච්ඡාවෙන් පසු යළි අමෙරිකාව බලා යෑම සඳහා සිය නිල ගුවන්යානයට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ ලබන වසරේ අප්‍රේල් මාසයේදී චීනයේ සංචාරය කිරීමට තීරණය කළ බවය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *