නාමල්ගෙන් වන්දි ගන්න
කෘෂිකර්ම හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා වෙතින් රුපියල් මිලියන 3.75ක මුදලක් අය කර ගත යුතු බවට වන යෝජනාවක් කුරුණෑගල මහ නගර සභාවේදී ඉදිරිපත් වී තිබේ.
බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජගත කරමින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ගොනු කළ නඩුවක් වෙනුවෙන් මහ නගර සභාවට දැරීමට සිදු වූ වියදම සඳහා මෙම මුදල අය කර ගත යුතුව ඇතැයි යෝජනාවෙන් කියයි.
සමගි ජන බලවේගය නියෝජනය කරන කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂ නායකවරයා වන සුමේධ අරුණශාන්ත මහතා විසින් මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කර ඇත.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මේ පිළිබඳ යෝජනාව කුරුණෑගල මහ නගර සභාවේ මාසික රැස්වීමට පෞද්ගලික යෝජනාවක් ලෙස තමන් විසින්ම ඉදිරිපත් කළ බවයි.
“දේශපාලන වාසි ගැනීමේ අරමුණින් වත්මන් නියෝජ්‍ය ඇමැතිවරයා එම කාලයේදී කුරුණෑගල මහ නගර සභාව, නගරාධිපතිවරයා සහ තවත් අය වගඋත්තරකරුවන් කරමින් මැණ්ඩාමුස් රිට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර තිබූණා. ඒ සඳහා පෙනී සිටීමට කුරුණෑගල මහ නගර සභාවට නිරපරාදේ වැය කිරීමට සිදු වූ එම මුදල නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් අය කර ගත යුතුයි.
නාමල් කරුණාරත්න මහතා විසින් පවරන ලද එම අභියාචනා නඩුවට නඩු ගාස්තු ලෙස රුපියල් මිලියන 24ක මුදලක් ගෙවීමට මුදල් ස්ථාවර කමිටුව විසින් නිර්දේශ කර තිබුණා. නීත්‍යනුකූලව එම මුදල සභාවෙන් දරා තිබෙනවා.
අනතුරුව අදාළ ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් නැති ස්ථානයක් බවට ප්‍රබල සාක්ෂි සහිතව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමක් හේතුවෙන් නාමල් කරුණාරත්න මහතා විසින් ගොනු කරන ලද නඩුව ඉල්ලා අස්කරගෙන තිබෙනවා. මේ තත්ත්වය මත බොරු නඩුවක් පටලවමින් කුරුණෑගල මහ නගර සභාවට නිරපරාදේ වැය කිරීමට සිදුව ඇති මහජන මුදල් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතාගෙන් අය කර ගත යුතුයි.”
@Lanka C News



 
							