විපක්ෂය ආරක්ෂාව ඉල්ලයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ සියලු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙස ඔවුහු කථානායක සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපති සහ මහජන ආරක්ෂක ඇමැති දැනුවත් කිරීමට කටයුතු කර අවශ්‍ය පියවර ගන්නා බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (31 දා) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී පැවැත්විණි.
මේ සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූ අතර එහිදී විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙස ඔවුහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.
මෙහිදී කථානායකවරයා සඳහන් කළේ මේ වන විටත් ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ගේ සියලු ඉල්ලීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවයි.
විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණ ද ඉන් ඔබ්බට ගොස් අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් තමන් කටයුතු කොට ඇති බවත් ඒ අනුව ඇතැම් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට මේ වන විටත් කටයුතු කර ඇති බවත් හෙතෙම කීවේය.
එසේම ඊයේ දින විපක්ෂයේ මන්ත්‍රීවරුන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ද අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී කථානායක විසින් පොලිස්පතිවරයා දැනුවත් කිරීම සිදු කරන ලදී. මෙහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක ඇමැතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

මේ සඳහා සහභාගී වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැවසුවේ තම දේශපාලන කටයුතු බාධාවකින් තොරව ආරක්ෂිත පරිසරයක් තුළ පවත්වාගෙන යාමට සියලු විපක්ෂ මන්ත්‍රීවරුන්ට, ප්‍රථමයෙන් ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙසත් පසුව තර්ජන පිළිබඳ තක්සේරු වාර්තාවක් ලබාගැනීමට කටයුතු කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ය.
මෙම විශේෂ සාකච්ඡාව සඳහා කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර, රවි කරුණානායක, ජේ. සී. අලවතුවල, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, සුජීව සේනසිංහ, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, එස්. එම්. මරික්කාර්, සුජිත් සංජය, දිලිත් ජයවීර, ජගත් විතාන ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වූ අතර, මන්ත්‍රී රාමනාතන් අර්ච්චුනා මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවට සම්බන්ධ විය. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කුෂාන් ජයරත්න යන මහත්වරු සහ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
@දිවයින

