Latestදේශීය

විද්‍යා ඝාතකයින් පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර අවසන්

2015 වසරේදී ශ්‍රී ලංකාවම කම්පනයට පත් කළ, යාපනය පුංකුඩුතීව් මහා විද්‍යාලයේ 18 හැවිරිදි ශිෂ්‍යාවක වූ සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස්, සමූහ දූෂණය කර, අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ අපරාධයට වරදකරුවන් වී මරණ දඬුවම නියම වූ, මහ මොළකරු ලෙස සැලකෙන ‘ස්විස් කුමාර්’ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම අභියාචනා විභාගයට ගැණුනු අතර, දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව, එහි අවසන් තීන්දුව ඉදිරි නඩු වාරයේදී ප්‍රකාශයට පත් කිරීම විනිසුරු මඩුල්ල තීරණය කළේය.

2015 මැයි මස 13 වන දින, පාසල් ගොස් නිවස බලා යමින් සිටි විද්‍යා දැරිය පැහැරගෙන ගොස්, සමූහ දූෂණයට ලක් කර, ඝාතනය කර තිබිණි. මෙම සාහසික අපරාධයත් සමඟ යාපනය අර්ධද්වීපය පුරා දැවැන්ත විරෝධතා සහ උද්ඝෝෂණ මාලාවක් දියත් වූ අතර, එය රටේම දැඩි අවධානයට ලක් විය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් යාපනය මහාධිකරණය හමුවේ අධි චෝදනා 41ක් යටතේ නඩු පවරන ලදී. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ (Trial-at-Bar) පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, 2017 සැප්තැම්බර් 27 වන දින ඓතිහාසික තීන්දුවක් ලබා දෙන ලදී.

එහිදී, චෝදනා ඔප්පු වූ විත්තිකරුවන් 7 දෙනෙකුට (පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංහම් ජෙයකුමාර්, පූබාලසිංහම් තවකුමාර්, මහාලිංගම් ශෂිදරන්, තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, සිවදේවන් දුෂාන්ත්, සහ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ‘ස්විස් කුමාර්’) ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මරණ දඬුවම නියම කරන ලදී. අනෙක් විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කෙරිණි.

මෙම මරණ දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගයයි මෙලෙස අවසන් වී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා කල් තබා ඇත්තේ. සමස්ත ශ්‍රී ලංකාවම, මෙම අමානුෂික අපරාධයට දඬුවම් ලැබූවන්ගේ අවසන් ඉරණම කුමක් වනු ඇත්දැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එනතෙක් දැඩි අවධානයෙන් බලා සිටී.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *