කෝටි 500 මත්ද්‍රව්‍ය ජාවාරමේ තවත් තොරතුරු සොයා මාලදිවයිනට යයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දුන් තොරතුරකට අනුව මාලදිවයින වෙරළාරක්ෂක බළකාය එරට මුහුදු සීමාවේදී රුපියල් කෝටි 500ක් පමණ වටිනා අයිස් සහ හෙරොයින් කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලාංකික ධීවරයන් 06 දෙනා සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු සඳහා මෙරටින් විමර්ශන කණ්ඩායමක් මාලදිවයින බලා පිටත්කර හැරීමට රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි, නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා ඊයේ (09) සවස පැවසීය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහ නාවික හමුදා නිලධාරීන්ගෙන් එම විමර්ශන කණ්ඩායම සමන්විත වන බව ආරංචි මාර්ග සඳහන් කළේය. මේ මත්ද්‍රව්‍ය තොගය විදේශගතව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ජාවාරම්කරුවන් සිවු දෙනකුට අයත් බවට සැක කරන තොරතුරු විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කරමින් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකායේ අත්අඩංගුවට පත්ව සිටින පිරිස රැගත් බහුදින යාත්‍රාව ද මෙරට ලියාපදිංචි කර ඇති එකකි. ජාවාරම්කරුවන්ගේ කොන්ත්‍රාත්තුවකට අනුව ජාත්‍යන්තර මුහුදට ගොස් පාකිස්තානු ජාවාරම්කරුවන් පැමිණි යාත්‍රාවකින් මත්කුඩු තොගය භාරගෙන ඇත්තේ යැයි පැවසෙන්නේ මෙරටට රැගෙන ඒමටයි.
මේ බහුදින යාත්‍රාව මත්ද්‍රව්‍ය රැගෙන මෙරටට පැමිණෙනතුරු මෙරට මුහුදු තීරයේත්, ජාත්‍යන්තර මුහුදු සීමාවේත් ශ්‍රී ලංකා නාවික හමුදාව අවධානයෙන් සිට ඇත. ඒ බව දැන ගත් ජාවාරම්කරුවන් යාත්‍රාව මාලදිවයින දෙසට යාත්‍රා කර ඇති බව සඳහන්ය. ඒ ගැන අවධානයෙන් සිටි නාවික හමුදාව වහාම ඒ බව මාලදිවයින වෙරළාරක්ෂක බළකායට දැනුම්දී තිබේ. ඒ අනුව එම යාත්‍රාව මාලදිවයින වෙරළාරක්ෂක බළකාය විසින් කොටු කරගෙන ඇත්තේ පෙරේදා (08)ය.
ශ්‍රී ලංකා නාවික හමුදාව රුපියල් කෝටි 500ක් පමණ වටිනා මත්කුඩු තොගයක් සමඟ බෝට්ටුවක් පසුගියදා කොටු කරගෙන තිබුණි. දික්ඕවිට වරායට පසුගිය 02 වැනිදා ධීවරයන් 06 දෙනෙක් සමඟ රැගෙන ආවේ එම මත්කුඩු තොගය රැගත් යාත්‍රාවයි. එම බෝට්ටුවෙන් රැගෙන ආ මත්කුඩු තොගය සහ මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් මත්කුඩු තොගය එකම ජාවාරම්කරුවන්ට අයත් බවට සැක කෙරේ.
@දිනමිණ

