Latestදේශීය

විදෙස් ඇමති විජිත හේරත් සෞදි අරාබියේ විදෙස් ඇමති ෆර්හාන් හමුවීම

ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) 26 වන සැසිවාරයට සහභාගී වීම සඳහා මේ දිනවල සෞදි අරාබියේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් පසුගිය දා (09) සෞදි අරාබියේ විදේශ කටයුතු ඇමති ෆයිසාල් බින් ෆර්හාන් කුමරු සමඟ ඵලදායී ද්විපාර්ශ්වික හමුවක් පවත්වා ඇත.

මෙහිදී, දෙරට අතර ද්විපාර්ශ්වික දේශපාලන හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ක්‍රම සහ විධි සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික ජන බලවේග පාලනය තුළ නිර්මාණය වී ඇති ආයෝජන හිතකාමී පරිසරය පිළිබඳවද මෙහිදී විස්තර කර ඇති ඇමති විජිත හේරත් විවිධ අංශවල රට තුළ බිහි වී ඇති ආයෝජන අවස්ථා ප්‍රයෝජනයට ගන්නා ලෙස සෞදි අරාබියේ පෞද්ගලික අංශයට ආරාධනා කර තිබේ.

මෙම සංචාරයේ දී දෙරටේ වාණිජ මණ්ඩල අතර ස්ථාපිත කිරීමට නියමිත පළමු ව්‍යාපාරික කවුන්සිලය පිළිබඳවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් පෙන්වා දී ඇති අතර එය දෙරට අතර පෞද්ගලික අංශයේ අන්තර්ක්‍රියා වැඩි කිරීම සඳහා හේතු වනු ඇති බවද පෙන්වා දී ඇත.

පලස්තීන ගැටලුවට තිරසර විසඳුමක් ලබා ගැනීම සඳහා සෞදි අරාබිය ගන්නා අඛණ්ඩ වෑයම ප්‍රශංසා කර ඇති ඇමති විජිත හේරත් පලස්තීන ගැටලුවට ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන සහ නොසැලෙන සහයෝගය යළි තහවුරු කර තිබේ.

මීට අමතරව මෙම හමුවේ දී, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වරස 50ක් සපිරීමේ සංවත්සරය සනිටුහන් වීම නිමිත්තෙන් සෞදි තැපෑල විසින් නිකුත් කරන ලද සමරු මුද්දරය සෞදි විදේශ කටයුතු ඇමති ෆයිසාල් බින් ෆර්හාන් කුමරු විසින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් වෙත නිල වශයෙන් භාර දීමද සිදු කර ඇත.

@Lanks Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *