ඩේසි ආච්චිට අතීතය මතක නැතිලු
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිතට පවරා ඇති නඩුවේ දෙවන විත්තිකාරිය වන 98 හැවිරිදි ඩේසි ෆොරස්ට් මහත්මිය හට අතීතය අමතක වීමේ රෝගී තත්ත්වය නැත්තම් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙන හෙයින් එම නඩුව ඉදිරියට පත්වාගෙන යාම සඳහා උපදෙස් ගැනීමට නොහැකි වී ඇති බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අද (12දා) උසාවියට දැනුම් දුන්නේය.
ගංගොඩවිල දිසා අධිකරණය ඇයගේ වෛද්‍ය වාර්තා සලකා බැලූ අතරල ඇයගේ දේපළ ඇයට ස්වාධීනව පරිහරණය කිරීමට නොහැකි බව තීරණය කර 2017 දී අන් කෙනෙකුට පවරා ඇති බව පෙන්වා දෙමින් නීතිඥවරයා ඉල්ලා සිටියේ ඇය මේ නඩුවෙන් නිදහස් කරන ලෙසය.
මෙම විත්තිකාරියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන ඇත්තේ 2016දී නීතිඥවරුන් දෙදෙනෙකු ඉදිරියේදී බවත් ඒ සම්බන්දයෙන් ඒ අවස්ථාවේදී හෝ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉදිරිපත් කර නොමැති බවත් අද පළමු වතාවට මෙය ඉදිරිපත් කරන නිසා අදාළ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
2016 අප්‍රේල් මාසයේදී සුප්‍රකට මැණික් මල්ල ඇය සන්තකයේ තබාගැනීම මතු වූ බවත් මේ සියලු දේපල ඇය සන්තකයේ තිබුණද මේවා මිලදී ගැනීමට මුදල් ලබාදී ඇත්තේ පළමු විත්තිකරු වන යෝෂිත රාජපක්ෂ වන බැවින් දෙවන විත්තිකාරිය නඩුවෙන් මුදා හැරීම මගින් වෙනත් පාර්ශ්වයකට වාසියක් වන බව නියෝජ්‍ය සොලිස්ටර්ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
සැකකාරියගේ මුල් ප්‍රකාශ ලබාගත් අවස්ථාව වන විට සැකකාරිය මෙම රෝගී තත්වයෙන් පසුවූවා දැයි විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටි අතර ඔවුන් පැවසුවේ එවැනි රෝගී තත්වයකින් ඇය පසු නොවූ බවය.
එමෙන්ම මීට පෙර ඇයගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් දැනුම් නොදුන්නේ ඇයිද යන්නත් විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ගෙන් විමසා සිටි අතර මෙම නඩුව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා ලබන 26 වැනිදා දක්වා කල් තබනු ලැබීය.
@දිවයින

