අපේ දෙවුර මත තිබෙන්නේ ඉතිහාසයේ අපේ සහෝදර සහෝදරියන්ගේ ආධ්‍යාත්මයේ බරයි
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු දේශප්‍රේමී අරගලයේදී දිවි පිදූ ජවිපෙ සාමාජිකයන් සිහි කිරීම වෙනුවෙන් සෑම නොවැම්බර් 13 වෙනිදාවකම වාර්ෂිකව සංවිධානය කෙරෙන ඉල්මහ විරු සමරුව අදත් (13) විහාරමහාදේවී එළිමහන් රංඟපීඨයේදී පැවැත්විණි.

36 වන ඉල්මහ විරු සමරුව අමතමින් අනුර කුමාර දිසානායක මහතා සිදු කළ කතාව,
අපි මෙතනට අද එක්රැස්වෙලා ඉන්නේ මීට අවුරුදු 36කට පෙර ගොඩනඟන ලද අපේ පක්ෂයට ජීවය, අධ්‍යාත්මය කැටුව එන ලද, මහා කැපවීම් , පරිත්‍යාගය සම්බන්ධයෙන් ආදර්ශයන් කැටුව එන ලද, මහා පාඩම් උගන්වන ලද රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අපේ දසදහස් ගණනක් අපේ සහෝදරවරු අනුස්මරණය කිරීමටයි.
අපි 1989න් පසුව මේ අවුරුදු 36 පුරාම ඔවුන් පිළිබඳව කතා කළා. ඔවුන් අනුස්මරණය කළා. ඒ හැම අවස්ථාවකටම වඩා මේ අවස්ථාව වෙනස්. එදා අපි ඔවුන් ගැන කතා කළේ, ඔවුන්ගෙන් අපේ ව්‍යාපාරයට උකහා ගත යුතු ගුණාංග ගැන කතා කළේබලය අත්පත් කරගැනීමේ ව්‍යාපාරයක් ලෙසයි. අද අපි ඔවුන් ගැන කතා කරන්නේ බලය අත්පත් කරගත් පක්ෂයක් ලෙසයි. එදා බලය අත්පත් කරගැනීමේදී ඔවුන් කියා දුන් පාඩම් ඊට ඉවහල් වුණා. ඒ හා සමාන ලෙසම බලය අත්පත් කරගත් පක්ෂයක් ලෙස එය පවත්වාගෙන යාමටත් ජනතාවගේ ජීවිත උසස් තත්ත්වයට ඔසවා තැබීමටත් ඔවුන්ගේ අත්දැකීම් මඟපෙන්වන බව සහතිකයි.
මොකක්ද අවශ්‍ය? සමහරු තිබුණ ආණ්ඩු සමඟ මේ ආණ්ඩුව සංසන්දනය කරනවා. කොහොමද එහෙම සංසන්දනය කරන්නේ? තිබුණු ආණ්ඩුවලට සමාන ආණ්ඩුවක් ආවම ඒදෙක සංසන්දනය කරන්න පුළුවන්. එහෙත් මේ ආණ්ඩුව එහෙම නෙවෙයි. අපේ ආණ්ඩුව ජනතාව සමඟ තිබෙන සබඳතාව ඉතාමත් ශක්තිමත් ලෙස ආණ්ඩුකරණය ප්‍රමිතිගත කරන ලද ආණ්ඩුවක්. ඒ නිසා මෙය පවත්වාගෙන යාමට ඒ විරුවන්ගෙන් උකහා ගත යුතු බොහෝ දේ තිබෙනවා.

අපේවෙනස් වී තිබෙන්නේ කුමක්ද? අපි නිස්සරණධ්‍යාශයෙන් යුතුව බලය අත්පත් කරගැනීමට පොර බැදූ මිනිස්සු. අදනිස්සරණධ්‍යාශයෙන් බලය ක්‍රියාවේ යෙදවීමට, එයින් ජනතාවගේ ජීවිත නඟාසිටුවීමට පොර බදන මිනිස්සු. වෙනස තිබෙන්නේ එදා අරමුණසහ අද අරමුණ අතර පමණයි. ඒ අරමුණ ඉටු කිරීමේදී අපි සියලු දෙනා එයට පොරබදා තිබෙනවා. මේක අපේ පුද්ගලික තනි තනි පොර බැදීමේ ප්‍රතිඵලයක් නෙවෙයි. මේක අපි සියලුදෙනාගේ, ඉතිහාසයේ මේ ව්‍යාපාරය සමග සිටි සියලුදෙනා විසින් කරන ලද කැපවීම් පරිත්‍යාගයන්ගේඑකතුවක ප්‍රතිපලයක්. ඒ පොර බැදීමේ දිගුවක් තමයි මේ බල හුවමාරුව. එහෙම නැතුව අවුරුදු තුන හතරකින් සිදුකළ මහා මැජික් එකක් නෙවෙයි. මොනවද ඒ ගුණාංග? එදා රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අපේ සහෝදරවරු දහස් ගණනක් ජීවිත පරිත්‍යාගයෙන් අපිට ඉගැන්වූ ගුණාංග මොනවද? කුමන දුෂ්කර කොන්දේසියක් යටතේ වුවත් අත්හැර නොයෑමේ ගුණාංගය. ඒ ගුණාංගය වගකීම අපේ දෙවුර මත තබා ගනිමින් අදත් අත්හැර නොයා සටන් කරනවා අපේ වගකීම ඉටු කිරීමට. මේ රටේ ජයග්‍රහණය සහ උන්නතිය වෙනුවෙන්.
අපි ව්‍යාපාරයට පොදු ගුණයක් තිබෙනවා. ඒ පොදු ගුණය නිර්මාණය වෙලා තිබෙන්නේ අපි තනි තනි කෙනාගේ ගුණාංගවල සාමූහික එකතුවක් ලෙසයි. ඒනිසා අපිට වගකීමක් තිබෙනවා තනි තනිවත් සාමූහිකවත් ඒ ගුණය ආරක්ෂා කර ගැනීමට.
එදා අපි බලය අත්පත් කරගැනීමට පොරබදන අවස්ථාවට වඩා දැන් අපි වෙත ටෝච් එළි වැඩි ප්‍රමාණයක් එල්ල වී තිබෙනවා. මොකද එක යුගයකදී ඔවුන් කල්පනා කළා සියයට දෙකයි තුනයි හතරයි, නැත්නම් නවයයයි දහයයි කියලා. සමහරු කිව්වා විරෝධාකල්ප දරන මෙවැනි ව්‍යාපාර ලෝකයේ හැමතැනම තිබෙනවා. එහෙත් ඒක හැමදාම ඒ ප්‍රමාණයම තමයි. ඒවා හැමදාම පවතිනවා කිව්වා. ලංකාවේ අපිත් ඒ ගාණට දැම්මා. අපට බලයට එන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. එහෙත් ඔවුන් අපේක්ෂා නොකළ දෙයක් සිදුවුණා. ඒ සියයට දෙක තුනක කණ්ඩායම රටේ බලය අත්පත් කරගත්තා. ඒ නිසා ඔවුන් එයින් අපේක්ෂාභංගත්වයට පත් කර තිබෙනවා. වියරුබවට පත් කර තිබෙනවා. මානසික ආතතියකට පත් කර තිබෙනවා. ඒනිසා ඔවුන්ගේ අවධානය අන් කවරදාටත් වඩා අප වෙත යොමු වී තිබෙනවා. අපි ගැන සෙවීම වැඩි වී තිබෙනවා.
ඒ නිසා අපිට වගකීමක් තිබෙනවා මේ බලය ජනතාව පීඩාවට පත් කරන මෙවලමක් නොවන බව, මේ බලය උද්දච්ච හිස උදුම්මා ගත් එකක් නොවිය යුතු බව පෙන්වා දීමට. මේ බලය අත්පත් කරගත් මාවත පහසු එකක් නොවෙයි.
එදා 1989දී විජේවීර සහෝදරයා ඇතුළු දහස් ගණනක් මේ ව්‍යාපාරය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළා. සැලකිය යුතු ප්‍රමාණයකින් අපේ ව්‍යාපාරයේ කඳ අහිමි වුණා. එහෙත් එදා ඔවුන් වධකයන්, ඝාතකයන් ඉදිරියේ වධබන්ධනයන් ඉදිරියේ මේ ව්‍යාපාරයේ සාරය ආරක්ෂා කළා. ඒ සාරය තමයි මේ ව්‍යාපාරය නැවත ගොඩනැඟීමට 1994දී ශක්තිය ලබාදුන්නේ. ඉන්පසු විශාල දුෂ්කර කොන්දේසි යටතේ මේ ව්‍යාපාරය ගොඩනඟනවා. අපි මේ ගමන්මඟෙහිදී ඉතා තීරණාත්මක සන්ධිස්ථාන කිහිපයක් පසු කරනවා. 2008දී පක්ෂයේ බහුජන ව්‍යාපාරයේ කොටසක් ගැලවී ගොස් සතුරාගේ ඔඩොක්කුවට වැටුණා. මාසයට දෙකකට පෙර සහෝදරත්වයේ එක කෑම පිඟාන බෙදාගෙන එක කාමරයේ නිදාගත් මිනිස්සු නිමේෂයකින් සතුරාගේ ඔඩොක්කුවට වැටී මේ ව්‍යාපාරයට එරෙහිව නැඟිය හැකි සියලු අවලාද නැගීමට පටන් ගත්තා.

ආරම්භයේදී ඔවුන්ගේ අවලාදවලටපණක් ලැබුණා. අද වන විට අවලාදවලට වගේම ඔවුන්ටත් පණක් නැහැ. ඔවුන් අද ජීවත්වුවත් දිනපතා මියයමින් සිටින සිරුරු බවට පත්ව තිබෙනවා. අනතුරුව,2011දී අපේ ව්‍යාපාරයේ සංවිධානයට විශාලතම තෙරපුමක් ඇතිවන සිදුවීමක් ඇති වුණා. විශාල පිරිසක් පක්ෂය දාලා ගියා. ඒ හා සමාන ලෙසම අවලාද, අසත්‍ය චෝදනා නැඟුවා. මා පෙර කී පරිදිම ඊට සති කිහිපයකට පෙර එකට හිටපු අය ඉතා කෙටි කාලයකින් අනිත් පැත්තට ගියා. සෘජුව හෝ වක්‍රව සතුරාගේ වුවමනා වෙනුවෙන් මතවාද ගොඩනැඟීමට පටන් ගත්තා. මේ යන මාවත වැරදි, මීට වඩා විප්ලවීය මාවතක් ඇත, මේ යන මාවත දියවී අවසන් වනු ඇත, මේ යන මාවත කවර හෝ ප්‍රතිගාමී දේශපාලනව්‍යාපාරයක අතකොළුවක් වනු ඇති. ඒ නිසා මීට වඩා විප්ලවීය මාවතක් තිබෙනවා, කියලා අපේ සහෝදරවරුන්ගේ හදවතට කතා කරන්න පටන් ගත්තා. සමහර අය ගියා. හැබැයි, ඒ අය තමයි අද ප්‍රතිගාමී පක්ෂවල මතවාද නිර්මාණය කරන්නන් බවට පත්ව තිබෙන්නේ. මෙහි සිටින ඔබ අප සියලුදෙනාටම එය විශාල කම්පනයක් වුණා. ඒ නිසා අපි තීරණය කරනවා, එම අන්ත-ප්‍රතිගාමීත්වයට, වැරදි දේශපාලන ප්‍රවණතාවට පක්ෂය යටත් කරනවාද?එසේ නොමැතිනම් ඊට එරෙහිව සටන් කරනවාද? කියලා. ඒ පිළිබඳ සාකච්ඡාවකදී අපේ ප්‍රධාන ලේකම් ටිල්වින් සහෝදරයා කියනවා මල්ලි අපට මේක අත්හැරිය හැකි එම දේශපාලන ප්‍රවණතාව නිවැරදිනම්, හැබැයි ඒ දේශපාලන ක්‍රමය ඉතා වැරදියි, ඒ නිසා අපි ඊට එරෙහිව සටන් කරමු’යි කියා. මේ ව්‍යාපාරය ගොඩනැගුණේ එලෙසයි. එකට සිටි අය, මඟපෙන්වූ අය දාලා ගියා. එරෙහිව කුමන්ත්‍රණය කළා. අපේ සහෝදරයන් ගැන අවලාද නඟමින් පත්තර පිටු ගණන් ලියන්න පටන් ගත්තා. එහෙත් අපිට අධිෂ්ඨානයක් තිබුණා.
එතැනින් නතර වුණේ නැහැ. මහජනයා අප කෙරෙහි තිබූ අවධානය ගිලිහීමට පටන් ගත්තා. මන්ත්‍රීවරු 39ක් නියෝජනය කළ පක්ෂය මන්ත්‍රීවරු 06ට, 03ට අඩු වුණා. ඡන්ද ප්‍රතිශතය 3%ට අඩු වෙන්න පටන් ගත්තා. එක් පැත්තකින් අභ්‍යන්තරය, අනෙක් පැත්තෙන් බාහිර සමාජය අපිව නොසලකා හරින දේශපාලන ව්‍යාපාරයක් වුණා. අපිට අපේම මිතුරන් කතා කරලා කිව්වා සහෝදරයා මිනිස්සුන්ට වුවමනා නැත්නම්, උඹලා ගිහිල්ලා වැඩක් කරගනිල්ලා කියලා. හැබැයි අපිට එක් අධිෂ්ඨානයක් තිබුණා, මේ වෙනස සඳහා අපි මිය යන තෙක් පොරබදනවා කියලා.
මෙහි සිටින අපගේ වැඩිහිටියන් සිය ජීවිත කාලය පුරා උදා කරගත නොහැකි වූ බලයක් පිළිබඳවඅපේක්ෂාවෙන් යුක්තව අත්නොහැර මේ ව්‍යාපාරය සමඟ අඛණ්ඩව සහයෝගයෙන්, සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන සිටියා. බලය කවදද, කොතැනද, අනෙක් පැත්තෙන් තර්ක කරන්න ගත්තා. සියයට තුනක්, බලය ලබා ගැනීම දක්වා වර්ධනය වීමට නම් 1500%කින් වැඩි විය යුතුයි කියලා කිව්වා. බලය ගත්තත්, බලය පවත්වාගෙන යාමට කණ්ඩායමක් නැහැ, බලය ගත්තත් ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීමට හැකියාවක් නැහැ, ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට හැකියාවක් නැහැ කියලා කිව්වා. සියලු අසුබවාදයන් සමාජගත කළා. හැබැයි මේ ව්‍යාපාරය තුළ අත්නොහැර අධිෂ්ඨානශිලීව අපේක්ෂාවෙන් යුතුව සුබ සිහිනයක් දකින සහෝදර සහෝදරියන්, අම්මලා, තාත්තලා පිරිසක් සිටිනවා. ඒ තමයි අද මෙහි රැස්ව සිටින සියලුදෙනා. ඔබ හැමදාම අපේක්ෂාවකින් සිටියා. මම විශ්වාස කරනවා ඔබ අප එක්ව දැකපු සුබ සිහිනය, එම අපේක්ෂාවෙන් ඉටු කරමින් අපි බලය අත්පත් කරගත්තා.
කොතැනද, කවදද, කවුද එම බලය අත්පත් කර ගැනීම කෙරෙහි කල්පනා කළේ? කවදාවත් අපි කල්පනා කළේ නැහැ. අපි හැල්මේ වැඩ කළා. බලය අපේ සාකච්ඡාවේ න්‍යාය පත්‍රයටවත් ගත්තේ නැහැ.
අපි 2019 මැතිවරණයෙන් පසුව 3%ට වැටුණා. දේශපාලනයේ, ආර්ථිකයේ ඇති වී තිබෙන අර්බුදය, සමාජය අපේ දේශපාලන ව්‍යාපාරය පිළිබඳ දකින කෝණයන් පුපුරායාමේ කඩඉමට පැමිණ තිබෙනවා අපි දැක්කා. පාර්ලිමේන්තුවේ 2/3ක් තිබූ ආණ්ඩුවක් අභියස, ලක්ෂ 68ක ජනවරමකින් බිහි වූ ජනාධිපතිවරයෙකු අභියස, එම ජනාධිපතිවරණය සහ මහමැතිවරණයේ උණුසුම යාමටත් පෙර, අපි හිතනවා දැන් බලය ගන්න පුළුවන් කියලා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ පැවති සූම් සාකච්ඡාවකදී මම කිව්වා අපි බලය ලබා ගැනීම සඳහා සැලැස්මක් සකස් කර තිබෙනවා, ඊළගට අපිට බලය ලබාගත හැකියි. සූම් සාකච්ඡාව අවසන් වීමෙන් පසු එහි සිටි එක ආචාර්යවරයෙක් මට වෙනම දුරකථනයෙන් කතා කර සහෝදරයා බලය ලබා ගන්නවා කියලා කිව්වේ මේ සාකච්ඡාවට පැමිණි අය දිරිගන්වන්නද, නැත්නම් ඇත්තටමද කියලා ඇහුවා. මම කිව්වා අපි ඒක ඇත්තටම කිව්වේ අපිට ඒක කරන්න පුළුවන් කියලා. අනතුරුව අපි ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් දැරුවා. ගම්මානවල ඇවිදිමින් අලුත් මාවතක් වෙනුවෙන් වෙහෙස නොබලා වැඩ කළා. අපිට අධිෂ්ඨානයක්, විශ්වාසයක් තිබුණා ඊළඟ මොහොතේ බලය හුවමාරු වෙන්නේ අපි අතට කියලා. ඒ වෙනුවෙන් අපි කරපු වැඩ කොටස ලිව්වොත් ලංකා ඉතිහාසයේ වැඩිම සක්‍රිය වැඩ කොටස අපි කර තිබෙනවා. අපේ වුවමනාව හා ජනතාවටගේ උවමනාව සමපාත වන අවස්ථාවක් පැමිණ තිබුණා. අන්න ඒ හයිය විසින් ලංකා ඉතිහාසයේ පළමු වතාවටවැඩිම මන්ත්‍රීධුර සහිත ආණ්ඩුවක් හදන්න හැකි වුණා. අද අපි සමහර ක්ෂේත්‍ර ස්ථාවරභාවයට පත් කර තිබෙනවා. තවත් ක්ෂේත්‍ර ස්ථාවර කරමින් පවතිනවා. එහෙත් පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි ගාණෙන් නෙවෙයි ආණ්ඩුවක ස්ථාවරභාවය රඳා පවතින්නේ. ජනතාව කොයි තරම් දුරට ඒ ආණ්ඩුවත් සමඟ බැදී තිබෙනවාද යන්න මතයි. අදත් අපි කියනවා අපිට ඡන්දය නොදුන් ජනතාව පවා අපි ගැන බලා ඉන්නවා, විශ්වාස කරනවා.
ඒ වගේම අපට විශාල දේශපාලන පරිවර්තනයන් සිදුකළ යුතුව තිබෙනවා. උඩ එක්රැස්වී තිබෙන මහා ධනය පහළ ගම්බිම් කරා යොමු කළ යුතුයි. සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය මීට වඩා උසස් කළ යුතුයි. ගමේ ගොවි මහත්මයෙක් කෙරෙහි තිබෙන ගෞරවය, සමාජ වටිනාකම අපි දන්නවා. ආර්ථික වටිනාකම පමණක් නොව ඔවුන් කෙරෙහි තිබෙන සමාජ ගෞරවය, සමාජ වටිනාකම අප අත්පත් කර දිය යුතුයි. අපේ තිබෙන ස්වාභාවික සම්පත්, අප රටේ තිබෙන පිහිටීම, මානව සම්පතේ ස්වභාවය ඒ සියල්ල හොඳින් කළමනාකරණය කරමින් ඒ සියල්ලන්ගේම ප්‍රතිඵල අපේ පොදු ජනතාවට ලබාදෙන සැලැස්මකට යා යුතුයි. හැබැයි, ඒ සියල්ලටම කලින් ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කර ගත යුතුයි. අද ඩොලරය එක අගයක්, හෙට තව අගයක්. එය අස්ථාවරයි. ආර්ථිකයේ හෙට වෙන්නේ කුමක්ද කියලා පුරෝකථනය කිරීමේ හැකියාව තිබිය යුතුයි. ආර්ථිකයක වැදගත්ම සාධකය එය තමයි. හෙට මොකද වෙන්නේ? අනිද්දා මොකද වෙන්නේ? අපේ පැරණි ඉතිහාසය තුළ අපේ ආර්ථිකය පුරෝකථනය කරන්න බැහැ. 2021 ජාත්‍යන්තර රේටිං සමාගම් පුරෝකථනය කළා අප රටේ ආර්ථිකය අවදානමක තිබෙනවා කියලා. එදා හිටපු මුදල් ඇමැතිවරයා කිව්වා රටේ ආර්ථිකයට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. මොකක්ද සිදු වුණේ? ඩොලරය රුපියල් 400ට කිට්ටු වුණා. කළු වෙළෙඳපොළෙහි ඩොලරය රුපියල් 420ට 430ට ගියා. උද්ධමනය 70%ට ගියා. තීරණය කරන්න බැහැ. රට පිළිබඳව ආණ්ඩුවට, මහජනතාවට තීරණය කරන්නත් බැහැ. වෛද්‍යවරු, වෘත්තීයවේදීන් රට දාලා ගියා. රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟතාවක් ඇති වුණා. රටට වෙන්නේ කුමක්ද කියා පුරෝකථනය කරන්න බැහැ. මෙහෙමයි එදා රට තිබුණේ.
හැබැයි, අද අපි ඔබට කියනවා, වසරක් ඇතුළත හෙට මොකද වෙන්නේ කියලා පුරෝකථනය කරන්න පුළුවන් මට්ටමේ ආර්ථිකයක් සහ දේශපාලනයක් අප නිර්මාණය කර තිබෙනවා. ආණ්ඩුව දිගටම තිබෙන බවට පුරෝකථනය කරන්න පුළුවන්. ඒක මතක තබා ගන්න. ඒ ගැන කිසිම සැකයක් තියා ගන්න එපා. ආර්ථිකය පුරෝකථනය කරන්න පුළුවන්, රට කොතැනද තිබෙන්නේ, කුමක්ද ලබන වසරේ වෙන්නේ, කියන්න පුළුවන්.
බොහෝ අය කියනවා 2028 වසරේ ණය ගෙවා ගන්න ඕනේ. ඔව්. අපි පුරෝකථනය කරනවා 2028 වසරේ අපි ණය ගෙවනවා. ණය ගෙවන්න හැකි ආර්ථිකයක් අපි සකස් කරනවා. ඇත්තටම සමහර පුරෝකථනවලට අපි ටිකක් බයයි. ඒ නිසා පොඩ්ඩක් අවාසි පැත්තට පුරෝකථනය කරනවා. අපි පුරෝකථනය කළා අයවැය හිඟය 6.7%යි කියලා. ඇයි? අපි ඊට වඩා යටට එන්න පුළුවන් කියලා අපි හිතනවා. හැබැයි අපි කල්පනා කරනවා ඒක කියන එක ටිකක් අවාසියි කියලා. අපි පුරෝකථනය කළේ 6.7%යි, මේ වසරේ අයවැය හිඟය 5.2% වාර්තා කළා. ලංකා ඉතිහාසයේ පළමුවතාවට. හැමදාම මොකක්ද වුණේ? 5%යි කියලා පුරෝකථනය කරපු ආර්ථික ඔස්තාර්ලා නතර වෙන්නේ 10%න්. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඉලක්ක ඉක්මවා ආදායම් එක්රැස් කරගන්නවා. එවිට කට්ටිය කියනවා මොන්ටිසෝරි දරුවටත් ඒක කරන්න පුළුවන් කියලා. මම කල්පනා කළා ඒක කිව්වෙ ඇයි කියලා. ඒක කිව්වේ වෙන මොකකටවත් නෙවෙයි, එයත් සුදුසුයි කියන්නයි. පෙර පාසල් දරුවාටත් මේ වැඩේ කළ හැකියි කියන එකෙන් පෙන්නුම් කරන්නේ ඔහුද සුදුසු බවයි.
මොකක්දවෙලා තිබෙන්නේ? අපි පුරෝකථනය කරලා තිබෙනවා, ලබන වසරේ ආර්ථිකය කොතැනද? ඊළඟ වසරේ ආර්ථිකයකොතැනද අපට පුරෝකථනය කරන්න පුළුවන්. ඒක ආර්ථිකයට වැදගත් බව මතක තබා ගන්න. අපි එතැනට මේ රට පරිවර්තනය කර තිබෙනවා. එතකොට මහා භාණ්ඩාගාරයේ ධනය තිබෙනවා මොකද කරන්නෙ කියනවා. ඔව් ධනය තිබෙනවා. මීට පෙර අවස්ථා ගණනාවකදී මහා භාණ්ඩාගාරයට ධනය එන්නත් කලින් විනාශ කළා. තව එකක් ආවාට පසුව විනාශ කළා. 2017 වසරේ විතර අපි කරපු කතාවකදී කිව්වා, මහා භාණ්ඩාගාරය ඒ වෙලාවෙ දිව්වේ රුපියල් බිලියන 575ක බැංකු අයිරාවකින්. ඒ කියන්නෙ මොකක්ද? එකවුන්ට් එකේ සල්ලි නැහැ, හැබැයි බැංකුව වියදම් කරනවා. එහෙම තිබුණු රටක් මේක. අද අපි මොකද කරලා තිබෙන්නේ? අද අපි විධිමත් පාලනයකට යටත් කර, මහා භාණ්ඩාගාරයට ධනය එක්රැස් කරලා තිබෙනවා. එ’නිසා මූල්‍ය වෙළෙඳපොළ පාලනය කිරීමේ හැකියාව ලැබිලා තිබෙනවා. අපේ මූල්‍ය වෙළෙඳපොළ පාලනයෙන් ගිලිහී ගොස් තිබුණා. මහා භාණ්ඩාගාර බිල්පත් 33-34% ට ගියේ එ’නිසයි. භාණ්ඩාගාර බිල්පත් 33%ට යන විට සාමාන්‍ය බැංකු පොලී අනුපාතය 35%ට 36%ට ගියා. මුළු ආර්ථිකයම හිර වුණා. අද භාණ්ඩාගාර බිල්පත් ගන්න අය දන්නවා අප සතුව මුදල් තිබෙන බව. අපි භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට දානවා, පොලී අනුපාතිකය වැඩි නම් අපිම ගන්නවා. එ’නිසා භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතිකය 8.3% සීමාවේ දිගු කාලයක් පවත්වා ගැනීමට අපි සමත් වී තිබෙනවා. බැංකුවල පොලී අනුපාතිකය අඩු මට්ටමක තබා ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ එ’නිසයි.
භාණ්ඩාගාරය හිඳිලා නම්, රජය සතු මූල්‍ය පාලනය ගිලිහෙනවා. එහෙත් අදඅපි හොඳ ස්ථාවරත්වයක් සහිත ආර්ථිකයක් හදලා තිබෙනවා. අපි පුළුවන් තරම් සහන ලබා දෙනවා. අල – ලූනුවල ප්‍රශ්නයක් තිබෙන බව අපි දන්නවා. අද කොතැනකවත් අල – ලූනු මිලදී ගැනීමේ ආණ්ඩුවේ යාන්ත්‍රණයක් නැහැ. ආණ්ඩුවට වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය තිබෙනවා. අල – ලූනු වැනි දේවල් මිලදී ගන්න ආණ්ඩුවට යාන්ත්‍රණයක් නැහැ. එ’නිසා මෙවර අයවැය ලේඛනයෙන් අල – ලූනු මිලදී ගැනීම සඳහාත් වී අළෙවි මණ්ඩලය හා සමාන ලෙස සතොස උපයෝගී කරගෙන යාන්ත්‍රණයක් සකස් කිරීමට රුපියල් කෝටි 100ක් වෙන් කරනවා. වසර 76ක් තිස්සේ මේවා කරලා නැහැ. හැමදාම අල – ලූනු අස්වැන්න ලැබෙන විට මේ ප්‍රශ්නය ආවා. අපි පාරිභෝගික ජනජීවිතයත් සමඟ සම්බන්ධ වෙන, ආර්ථිකයේ ප්‍රධාන මර්මස්ථාන සමඟත් සම්බන්ධ වෙන, ආර්ථික ක්‍රියාවලියේ වැදගත්ම සංධිස්ථානත් සමඟ සම්බන්ධ වෙන ආකාරයට ආණ්ඩුව සමඟ තරගකරුවෙක් ලෙස මැදිහත් වන යාන්ත්‍රණයක් සකස් කර තිබෙනවා. එයින් තමයි පාරිභෝගික අයිතිවාසිකම් වගේම නිෂ්පාදකයාගේ අයිතිවාසිකම් ආරක්ෂා වන්නේ. ඒ වගේම රටේ මූල්‍ය ස්වෛරීභාවය ආරක්ෂා වන්නේ. අපි ඒ සියල්ල ස්ථාපිත කරමින් තිබෙනවා. ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කර තිබෙනවා. අද අපි ඔප්පු කර තිබෙනවා මේ රටේ නීතියට ළඟා විය නොහැකි කිසිවෙකු නොසිටින බව. සියලුදෙනා අසලටම නීතියට ළඟා විය හැකියි. එය අත්‍යවශ්‍ය සාධකයක්.
ඒ වගේම අපේ රටේ තිබෙන්නේ හුදු මත්ද්‍රව්‍ය ව්‍යසනයක් නොවෙයි. ඒ හා බැදුණු කළු අපරාධ රාජ්‍යයක් තිබෙනවා. මේ කළු අපරාධ රාජ්‍යයෙන් අපේ මාතෘ භූමියත්, දරුවන්ගේ අනාගතයත් බේරා ගැනීමට අපි තීරණය කර තිබෙනවා.
ඒ වගේම අපේ රටේ ජාතික සමගිය විනාශ වූ ඉතිහාසයක් තිබුණා. සෑම වෙලාවකම සමාජ අර්බුදයක්, ගැටුමක් එන විට පල්ලියට ගැහුවා. පාලකයන් සෑම අවස්ථාවකම සිය පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය උපයෝගී කරගත්තා. ජාතිකත්වය සහ සංස්කෘතික බැඳීමට ගිනි තැබුවා. අපි ජාතිවාදයට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ
අපිට අද මේ රටේ පුරවැසියන්ට, කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට ආරාධනා කරන්න පුළුවන් දැන් එන්න රට හදන්න කියලා. අපි ශක්තිමත් කුලුනු මත පාදමක් පිහිටුවා තිබෙනවා. මේ තමයි වසරක ශේෂපත්‍රය. අපි කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාට මේ රටේ නව ආයෝජන සදහා ආරාධනා කරනවා. ඒ නිසා මෙවර අයවැයෙන් ස්ථාවරභාවය තවත් ශක්තිමත් කරමින් ගොඩනැගීමේ දිශාවට අවශ්‍ය පාර කපලා තිබෙනවා. ඇතැම් ක්ෂේත්‍රවල දොරටු විවර කර තිබෙනවා. තව දුර ගමනක් යාමට තිබෙනවා.
ඒ නිසා අපි මුළු ආණ්ඩුකරණයම, මුළු ආණ්ඩු ක්‍රියාවලියම මෙහෙයවමින් සිටින්නේ ජනතාවට වූ වගවීම ඉටු කිරීම වෙනුවෙන්. ඒ සඳහා අපේ මන්ත්‍රීවරු, ඇමතිවරු සියලුදෙනා වෙහෙස නොබලා වැඩ කරනවා. ජනතාව සහ අප අතර තිබෙන වගවීම සහ බැඳීම සඳහා එය ඉටු කළ යුතුයි. හැබැයි, එය ඉටු කිරීම සඳහා උත්සාහ කරන විට වොයිස් කට් දේශපාලනයක් මතු වී තිබෙනවා. සමහරු හිතනවා මේ වොයිස් කට් දේශපාලනය තමයි මහජනතාවගේ මතය කියලා. අපි කිසිසේත්ම විරුද්ධපාක්ෂික දේශපාලනයට එරෙහිව ආණ්ඩු බලය උපයෝගි කරගන්නේ නැහැ. අපිට පක්ෂද, විපක්ෂද භේදයකින් තොරව අපිකටයුතු කරනවා. හැබැයි මේ ප්‍රතිගාමීත්වයට එරෙහිව මහජනතාවගේ දියුණුතම පෙළගැස්ම අපි ගොඩනඟනවා.

ඉතිහාසයේවගේවිරුද්ධ පාක්ෂිකයන්මැඬලන්න අපි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, අධිකරණය හෝ රාජ්‍ය බලය උපයෝගි කර ගන්නේ නැහැ.හැබැයි, අපේ පක්ෂය, අපේ යාන්ත්‍රණය අපි සතු මහජන බලය විසින් ඒ කුඩා කුඩා කෙදිරිලි හඬවල් මුළුමනින්ම යටපත් කර දමනවා. අපි එළැඹෙන වසර ආරම්භ කළ යුතු වන්නේ විශාලතම මහජන බලය මේ ප්‍රතිගාමීත්වයට එරෙහිව නැඟිටුවමින්. අපි ඒදේශපාලන ප්‍රශ්න බේරා ගන්නවා. අපි දේශපාලන හස්තයක් ලෙස ආණ්ඩුකරණය උපයෝගි කරගන්නේ නැහැ. ආණ්ඩුකරණයේදී සියලුදෙනා සමානයි. නීතියේදී සෑම කෙනාම සමානයි.
එහෙත් දේශපාලන ප්‍රතිගාමීත්වයට එරෙහිව විශාලම මහජන පෙරමුණ අපි ගොඩනැඟිය යුතුයි. ඒ සඳහා අපි සූදානම්. මේ ව්‍යාපාරයේ දිගු ගමනක ඓතිහාසික උරුමකරුවන් බවට අපි පත් වුණා. ඒ දිගු ගමනේ වර්තමාන උරුමකරුවන් බවට පත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අප බලයට පත් වුණා. ඒ නිසා අපිට අන් හැම කෙනාටම වඩා වැඩියෙන් ඒ ඉතිහාසයේ අපේ සහෝදර සහෝදරියන්ගේ ආධ්‍යාත්මයේ බර අපේ දෙවුර මත තිබෙනවා.
අපි හුදු, පාවෙන අසුනක වාඩි වූ අය නොවෙයි, පාවීපැමිණි ඔටුන්නක් අපේ ඔළුවට නොවැටුණු බව මතක තබා ගන්න. මේ බලය නිර්මාණය වුණේ විශාල කැපකිරීම් සහ පරිත්‍යාග මතයි. එසේ නම් මේ බලය රැක ගැනීමට අපිට වගේම අපි බලයට ගෙන ආ පුරවැසියන්ටත් වගකීමක් තිබෙනවා.
අද අපිට එරෙහිව බොරළු කැටයක් තරම්වත් ශක්තිමත් විවේචනයක් එල්ල කරන්න බැරි තරමට ඔවුන් අසීරුතාවට පත්ව තිබෙනවා. අප සතුව වගවීම් දෙකක් තිබෙනවා. එකක් අපි ඉතිහාසයට වගවිය යුතුයි, ඒ වගේම අපි පුරවැසියන්ගේ වර්තමානයට වගවිය යුතුයි. අපි හැම දෙනාම මේ බලය කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ මෙවලමක් බවට පත් කර නොගත යුතුයි. මෙය බලය නිර්මාණය කරන බලයක් බවට පත් වෙන්න බැහැ. අපේ බලය පුරවැසියා සමානව එකට හිඳගෙන මේ රට ගොඩනැඟීම සඳහා ප්‍රයත්න දරන බලයක් බව අපි තේරුම්ගත යුතුයි. ඒ වගේම අපේ ජයග්‍රහණ තිබෙන්නේ තනි තනිව නොව සාමුහිකත්වය මතයි. අපි ඉතා දුෂ්කර කොන්දේසිවල, ඉතාමත් අවාසි සහගත දේශපාලන පිටියේ නොහිතන ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ රහස වන්නේ අපේ සාමුහිකත්වයයි. ආණ්ඩුකරණයේදීත් අපේ ජයග්‍රහණය රඳා පවතින්නේ සාමුහිකත්වය මතයි. ආණ්ඩුව සහ පුරවැසියා අතර තිබෙන සහයෝගය, ආණ්ඩුව සහ පාක්ෂිකයා අතර තිබෙන සහයෝගීතාව. ඒ නිසා අපිට තිබෙන්නේ සාමුහික පොරබැදීමක්. අපි සාමුහිකව පොරබැදිය යුතුයි. අපි විශාල ලෙස සැලසුම් සකස් කර තිබෙනවා. එම සියල්ල තිබෙන්නේ සාමුහිකව පොරබැදීම සඳහා. ඒ නිසා අපි විශ්වාස කරනවා 88 – 89 ඒ දීර්ඝ ඉතිහාසයේ අපේ මිය ගිය සහෝදර සහෝදරියන් ඔවුන් සතුව තිබූ ජීව ගුණය, අත්දැකීම් ඒ සියල්ල රැස් කළේ මේ බලය ලබා ගැනීම සහ ජයග්‍රහණය කැඳවීම වෙනුවෙන්. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතුවෙමු කියා ආරාධනා කරමින් මම නිහඩ වෙනවා. සියලුදෙනාට ජය වේවා.

