කොන්දේසි සහිතව බංගලාදේශයට පැමිණීමට සැරසෙන ෂෙයික් හසීනා
බලයෙන් නෙරපන ලද බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනා තමන් නැවත මව්බිමට පැමිණීම සඳහා මූලික කොන්දේසි තුනක් ඉටුවිය යුතු බව අවධාරණය කර තිබේ.
ඉන්දියාවේ රැඳී සිටින ඇය PTI පුවත් සේවය සමඟ විද්යුත් තැපෑල හරහා පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ප්රකාශ කර ඇත්තේ, “සහභාගිත්ව ප්රජාතන්ත්රවාදය” යළි ස්ථාපිත කිරීම, අවාමි ලීග් පක්ෂයට පනවා ඇති තහනම ඉවත් කිරීම සහ නිදහස්, සාධාරණ මෙන්ම සියල්ලන්ටම සහභාගී විය හැකි මැතිවරණයක් පැවැත්වීම යන සාධක මත තම පුනරාගමනය තීරණය වනු ඇති බවයි.
දැනට පවතින මොහොමඩ් යූනුස්ගේ අන්තර්වාර පාලනය විසින් ඉන්දියාව සමඟ පවතින සබඳතා අනතුරේ හෙළමින් අන්තවාදී බලවේග ශක්තිමත් කරමින් සිටින බවට ද ඇය මෙහිදී දැඩි චෝදනාවක් එල්ල කළාය.
තම විදේශ ප්රතිපත්තිය සහ වත්මන් අන්තර්වාර රජයේ ක්රියාකලාපය සංසන්දනය කළ හසීනා, ඩකා සහ නවදිල්ලිය අතර පවතින ගැඹුරු සබඳතාවය යූනුස් පාලනයේ අමනෝඥ තීරණ හමුවේ වුවද නොසැලී පවතිනු ඇතැයි විශ්වාසය පළ කළාය.
තමාට ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට ස්තූතිය පළ කළ ඇය, ඉන්දීය රජයේ සහ ජනතාවගේ ආගන්තුක සත්කාරය පිළිබඳව තමන් ඉමහත් කෘතඥතාවක් දක්වන බව සඳහන් කළාය. බංග්ලාදේශ ජනතාව අපේක්ෂා කරන ප්රජාතන්ත්රවාදී වටපිටාව නැවත නිර්මාණය කිරීම තම පැමිණීමේ ප්රධානතම කොන්දේසිය බවත්, අවාමි ලීග් පක්ෂයට එරෙහි තහනම ඉවත් කර සාධාරණ මැතිවරණයක් පැවැත්වීම අන්තර්වාර පාලනයේ වගකීමක් බවත් ඇය පෙන්වා දුන්නාය.
සති ගණනාවක් පුරා පැවති ප්රචණ්ඩකාරී විරෝධතා හමුවේ 2024 අගෝස්තු 5 වන දින රටින් පිටව ගිය ෂෙයික් හසීනා, බංග්ලාදේශයේ වැඩිම කාලයක් අගමැති ධූරය දැරූ නායිකාව ලෙස සැලකේ.
@දිනමිණ

