සමාජවාදය ජීවමාන අපේක්ෂාවක්
“ඔබ මියගොස් නැත – සමාජවාදය ජීවමාන අපේක්ෂාවක්” තේමාවෙන් 1987/89 අරගලයේදී දිවිපිදූ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු සියලුදෙනා අනුස්මරණය කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 36 වැනි ඉල් විරු සමරුව අද, නොවැම්බර් 13 පස්වරු 3.00ට නුගේගොඩ, දෙල්කඳ පොළ භූමියේදී පැවැත්විණි.

වේදිකාවට 1987/89 අරගලයේ ක්‍රියාකාරීන් සහ තරුණ පරම්පරාවේ දේශපාලන ක්‍රියාකාරීන් කැඳවා තිබුණි. එහි පිළිගැනීමේ කතාව නිරෝෂා ගුරුගේ විසින් පැවැත්වූ අතර කන්නන් තුරෙයිසිංහම් දමිළ භාෂාවෙන් දේශනයක් පැවැත්වීය.

ප්‍රධාන සමරු දේශනය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහෝදරයා විසින් පවත්වන ලදී. සමරු වැඩසටහනට වීඩියෝ වාර්තා වැඩසටහනක් සහ සමරු ගීත ප්‍රසංගයක් ඇතුළත් විය.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත.

" අද අපි සමරමින් ඉන්නේ 36 වැනි ඉල් විරු සමරුව. පෙර පැවති සැමරුම්වලට වඩා අද ඉල් සමරුව විශේෂයි. එදා රෝහණ විජේවීර සහෝදරයා, ගමනායක සහෝදරයා ඇතුළු හැටදහසක් සහෝදර සහෝදරියෝ එදා ජීවමාන කරන්න උත්සහ කළේ සමාජවාදය. ඒ ඓතිහාසික උරුමයට නෑ කම් කියන පක්ෂය තමයි අද රටේ පාලන බලය හොබවන්නේ. නමුත් එදා ඔවුන් අපේක්ෂා කළ සමාජවාදය සම්බන්ධ සිහිනයට මොකද වුනේ ? ඒ සිහිනය දකින්න බලාගෙන හිටපු මිනිස්සුන්ට අද මොකද වෙලා වෙලා තියෙන්නේ කියන සාකාච්ඡාව අද අපිට බරපතළව ගන්න වෙලා තියනවා.
එදා කොමියුනිස්ට් ප්‍රකාශනය කියන ඓතිහාසික ලියවිල්ල අවසන් කරමින් මාක්ස් සහ එංගල්ස් සහෝදරවරු මෙහම ලිව්වා "ස්වකීය අදහස් හා අරමුණු සැඟවීම කොමියුනිස්ට් වාදීහූ පිළිකුල් කරති. දැනට පවතින සමාජ තත්වයන් ප්‍රචණ්ඩකාරී ලෙස බිඳ හෙලීමෙන් පමණක් සිය අරමුණු සපුරාලිය හැකි බව ඔවූහු ප්‍රසිද්ධියේම පවසති. " එදා අපේ සහෝදරවරු බය නැතුව පෙනී හිටියේ එක අරමුණක් වෙනුවෙන්. ඒ අරමුණ තමයි සමාජවාදය. එදා තිබුණේ ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස වගේ ධනපති පංතියේ නායකයින්ගේ අතිශයින් ම්ලෙච්ඡ මර්ධනකාරී නවලිබරල් ආණ්ඩු සමස්ථ වැඩකරන පංතියම අර්බුදයකට ගමන් කරවමින් පැවති වෙලාවක්. නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය කප්පාදු කර, ඒවා වෙළඳපොලට විවෘත කරන්න දැවැන්ත උත්සහයක් ක්‍රියාත්මක වෙමින් තිබුණා. කම්කරු අයිතීන් කප්පාදු කරමින් වැඩ කරන ජනතාවගේ හිසමත දැවැන්ත බදු බරක් පටවමින් තිබුණා. එහෙම තත්වයක් ඇතුලේ තමයි එදා ජනතාව තීරණය කලේ සටන් කිරීම හැර විකල්පයක් නැහැ කියලා. ඒ සටනේ ඇතැම් ක්‍රියාමාර්ග ගැන, ඇතැම් ආකෘති ගැන යම් යම් ස්වයං විවේචන අපට තියනවා. හැබැයි එදා ඒ හැට දහසක් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරපු අරමුණ ගැන අදටත් අපිට කිසිඳු දෙගිඩියාවක් නැහැ. අදටත් ඒ අරමුණ එක්ක හිටගන්න අපි සූදානම් වෙලා ඉන්නවා.
දැන් බලයේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුවක්. සමහරු උත්සහ කරනවා මේක වාමාංශික ආණ්ඩුවක් කියලා කියන්න. නමුත් ඇත්තටම මේ ආණ්ඩුව ආර්ථික දේශපාලන කාරණාවලදී හිටගන්නේ පීඩිත ජනතාවගේ පැත්තේ ද ? මේ රටේ ජනතාව සූරාකමින් ප්‍රාග්ධනය ගොඩගහ ගන්න ධනපති ව්‍යාපාරිකයෝ ටික වාණිජ මණ්ඩලය විදිහට මේ පාර ආණ්ඩුවට අයවැය සඳහා ලබා දුන් සියලු යෝජනා ආණ්ඩුව පිළි අරගෙන. හැබැයි ඒ ආණ්ඩුවම අර හේලීස් පෞද්ගලික ආයතනයේ වැඩකරන සේවකයන්ව බලහත්කාරයෙන් එළියට දාපු ප්‍රශ්නයට කටක් අරින්නේ නෑ. ඒ සේවකයන්ගේ වෘත්තීය සමිතියට සාකච්ඡාවක් දෙන්න පවා ආණ්ඩුවට කොන්දක් නැහැ. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ගේට්ටු මුරකරුවන්ගේ වෘත්තීය සමිතියක් හැදුවේ මේ ආණ්ඩුවම තමයි. හැබැයි ඒ වෘත්තීය සමිතිය සාකච්ඡාවක් ඉල්ලුවම අද ආණ්ඩුව පස්ස ගහනවා. අද වෘත්තීය සමිති සාකාච්ඡා වලට එන්නටවත් ආණ්ඩුව බය වෙලා ? හැබැයි වාණිජ මණ්ඩලය කියන කියන දේවල් වැඳගෙන කරමින් ඉන්නවා. අපි අහනවා එදා රෝහණ සහෝදරයා සටන් වැදුණේ මෙවැනි සමාජ ක්‍රමයක් වෙනුවෙන් ද ? මේ පාර අයවැයෙන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කිසිඳු මැදිහත් වීමක් නැහැ. ලබන අවුරුද්දේ ඉඳලා එක පවුලක් මාසිකව රුපියල් 40,000ක් රජයට බදු ගෙවන්න ඕන. තමන් ගන්න හාල් ටිකේ පරිප්පු ටිකේ ඉඳලා ගෙවන්න තියෙන්නේ බදු. හැබැයි ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ අපි ආවම අධ්‍යාපනයට, සෞඛ්‍යයට, අත්‍යාවශ්‍ය ආහාරවලට බදු අයකරන්නේ නෑ කියලා. හැබැයි අඩුතරමින් එක රුපියලකින් බදු බර අඩු කරන්නවත් ආණ්ඩුව කටයුතු කරලා නැහෑ. හැබැයි ධනපති ව්‍යාපාරිකයන්ගේ බැඳුම්කරවලට 33%ක අති දැවැන්ත පොලියක් ගෙවනවා. මේ පොලී ගෙවන්නෙත් සාමාන්‍ය ජනතාව දුක්මහන්සියෙන් හම්බකරලා රජයට ගෙවන බදු සල්ලිවලින්.
මේ නිසා තමයි අපි කියන්නේ අද ජනතා විමුක්ති පෙරමුණ දකින රෝහණ විජේවීර සහ අපි දකින රෝහණ විජේවීර කියන්නෙ දෙන්නෙක්. ඒක නිසා තමයි අපි අර විහාරමහදේවී පාර්ක් එකෙන් ඈතට ඇවිත් මේ නුගේගොඩ දෙල්කඳ මංසන්ධියේ සැබෑ සමාජවාදී උරුමය රැගත් රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ඉල් විරුවන් සමරන්න තීරණය කළේ. සමරනවා කියලා "ස" මකලා මරන්නත් පුලුවන්. අද ජවිපෙ කරන්නේ ඒක. මොකද ඇත්තටම ඉල් විරුවන් සමරන්න ඕන නම් ආණ්ඩුවට පුලුවන් ඒ විරුවන්ගේ ඝාතකයන්ට දඬුවම් දෙන්න. ඒ ඝාතන අනාවරණය කරන්න. අඩුමතරමින් ඔවුන්ගේ මරණවලට සාධාරණයක් කරන්න ඔවුන් එදා දැකපු සිහිනය යථාර්ථයක් කරන්න. ඒ එකක්වත් නැතුව අද බටලන්දෙ ඝාතකයගේ නවලිබරල් වැඩපිළිවෙළ කරේ තියාගෙන යන ගමන් අනුර දිසානායකලා, ටිල්වින් සිල්වලා ඉල් විරුවන් සමරනවලු. මේකට කියන්නේ සමරනවා නෙමෙයි. මේ කරන්නේ ඒ සමාජවාදී අරමුණ මරන්න උත්සහ කරන එක.
හැබැයි අපි අද ඔවුන්ට කියන්න ඕන කොච්චර වළදාන්න උත්සහ කළත් සමාජවාදය කියන්නේ ජීවමාන අපේක්ෂාවක්. ඒ අපේක්ෂා මරාදාන්න උඹලට හැකියාවක් නැහැ. බර්ටෝල්ට් බෙච්ට්ගේ කවියක මෙහෙම තියනවා "අකුණු ගැසීම ඉතාම හොඳයි. ඒ අකුණු ගසන මොහොතේදී අකුණු සැරවල ආලෝකයෙන් ගැඹුරු සහ දරුණු සත්‍යයන් නිරාවරණය වෙන බැවිනි. " ඒ නිසා අඳුරෙන් වහගෙන ඒ අපේක්ෂාව යට ගහන්න මේ පාලකයෝ හැම උත්සහයක්ම ගනී. හැබැයි පීඩිත ජනතාව අකුණු වගේ නැගී සිටින මොහොතක් එනවා. ඒ මොහොතේදී ගැඹුරු සත්‍යයන් නිරාවරණය වෙන එක වළක්වන්න කිසිවෙකුටත් පුලුවන් කමක් නැහැ. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට ඒ සැබෑ සමාජවාදී අරමුණ වෙනුවෙන් සටන් කරන්න සූදානම්. ඒ සඳහා එකතුවෙමු කියලා සමස්ථ වැඩකරන ජනතාවට ආරාධනා කරනවා."

Please follow and like us:

